ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල් මෙන්ඩිස්ට ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ‘දිනමිණ’ කළ විමසීමකදී ඊයේ පැවසීය.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි හැට දෙලක්ෂයක්) කෙටි ලැයිස්තුගත කොට පොරොත්තු ලේඛනයේ සිටි හෙයින් එංගලන්ත ක්‍රිකට් තරුව ජොස් බට්ලර් වෙනුවට ගුජරාට් ටයිටන්ස් කුසල්ව ලබාගෙන තිබේ. යුද ගැටුම් හේතුවෙන් තාවකාලිකව අයිපීඑල් තරග නතර කරද්දී බට්ලර් එංගලන්තය බලා පිටත්ව ගිය අතර, යළි ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්නොවනු ඇතැයි පැවසේ.
කොදෙව් සහ එංගලන්තය අතර මේ මස 29දා එජ්බැස්ටන්හිදී ආරම්භ වන තරගාවලියේදී බට්ලර් එංගලන්ත සංචිතයට එක්වීම අයිපීඑල් මඟ හැරීමට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වාදේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක ද ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර, ආදේශක ක්‍රීඩකයෙක් ලෙස එම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් නම් කොට තිබේ.
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී යුද ගැටුම් හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණි කුසල් මෙන්ඩිස් එම සුපර් ලීග් තරගාවලියේදී ක්වෙටා ග්ලැඩියේටර්ස් නියෝජනය කරමින් ලකුණු 143ක් රැස් කළ අතර, ප්‍රහාරාත්මක වේගය 168.23ක් ලෙස වාර්තා විය. 30 හැවිරිදි මෙන්ඩිස් විස්සයි20 ක්‍රිකට් දිවිය තුළ තරග 172කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 32ක් සමඟින් ලකුණු 4718ක් රැස් කරගෙන ඇත.
මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැනට වඩාත් සාර්ථකම කණ්ඩායම බවට පත්ව සිටින ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරග 11කදී ජයග්‍රහණ 8ක්, පරාජ 3ක් සමඟ ලකුණු 16ක් ලබා ඉදිරියෙන්ම සිටින අතර, මේ 18දා අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව 12 වැනි තරගයට සහභාගි වේ.