Friday, May 16, 2025
Home » ශ්‍රී ලංකා පිලට අයිසීසියෙන් කෝටි 25ක මුදල් තෑග්ගක්
ලෝක ටෙස්ට් හයවැනි ස්ථානයට පත්වූ

ශ්‍රී ලංකා පිලට අයිසීසියෙන් කෝටි 25ක මුදල් තෑග්ගක්

by mahesh
May 16, 2025 1:01 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංචිධාන කළ ලෝක ටෙස්ට් ශූරතාවලියේදී හයවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පිලට අමෙරිකානු ඩොලර් 840,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 25ක්) පිරිනැමීමට අයිසීසීය කටයුතු යොදා ඇත. ලබන ජූනි 15 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් නුවරදී අවසන් වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ ත්‍යාග මුදල්වල දැවැන්ත වැඩිවීමක් තහවුරු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේය.

ලෝඩ්ස්හිදී පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින්ට අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක මුදල් ත්‍යාගයක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක්) ප්‍රදානය කෙරේ. එම මුදල මෙයට පෙර ජයග්‍රහණය කළ නවසීලන්තය (2021) සහ ඔස්ට්‍රේලියාව (2023) උපයා ගත් මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිවීම විශේෂත්වයකි.

මෙවර අනුශූර කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,160,000ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 64. 56ක්) පිරිනැමෙන අතර, තෙවැනි ස්ථානයට පත්වූ ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 1,440,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 43ක්) හා සිවුවැනි ස්ථානයට පත්වූ නවසීලන්තයට අමෙරිකානු ඩොලර් 1,200,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 36ක්) හිමිවේ.

කණ්ඩායම් නවයකින් සමන්විත ලෝක ටෙස්ට් තරගාවලියේ තෙවැනි සංස්කරණය වන මෙවර දකුණු අප්‍රිකාව තම රටේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පරාජය කරමින් 2-0ක තරගමාලා ජයග්‍රහණයක් සමඟ ප්‍රතිශත ලකුණු 69.44ක ඉහළම ලකුණු ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, වත්මන් ලෝක ටෙස්ට් ශූර ඔස්ට්‍රේලියාව බොහෝ කාලයක් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඉන්දියාව තරග 3-1කින් පරදා ප්‍රතිශත ලකුණු 67.54කින් අවසන් සටනට පිවිසියේය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පිරිනැමෙන ත්‍යාග මුදල් මෙ‍සේය.

ජයග්‍රාහකයා – ඔස්ට්‍රේලියාව හෝ දකුණු අප්‍රිකාව අමෙරිකානු ඩොලර් 3,600,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 108ක්), අනුශූරයන්ට – ඔස්ට්‍රේලියාව හෝ දකුණු අප්‍රිකාව අමෙරිකානු ඩොලර් 2,160,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 65ක්), තෙවැනි ස්ථානය – ඉන්දියාව අමෙරිකානු ඩොලර් 1,440,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 43ක්), සිවුවැනි ස්ථානය – නවසීලන්තය අමෙරිකානු ඩොලර් 1,200,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 36ක්), පස්වැනි ස්ථානය – එංගලන්තය අමෙරිකානු ඩොලර් 960,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 29ක්), හයවැනි ස්ථානය – ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් 840,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 25ක්), හත්වැනි ස්ථානය – බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් 720,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 22ක්),

අටවැනි ස්ථානය – බටහිර ඉන්දීය කොදෙව් අමෙරිකානු ඩොලර් 600,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 18ක්), නවවැනි ස්ථානය – පාකිස්තානය අමෙරිකානු ඩොලර් 480,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 15ක්).

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT