පාසල් රග්බි පිටියේ ප්‍රබලතම කණ්ඩායම් දෙකක් වන ඉසිපතන විදුහල් පිල සහ ත්‍රිත්ව විදුහල් පිල අතර ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (18) පස්වරුවේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මේ දෙවිදුහල ජනාධිපති කුසලාන අවසන් මහා තරගයේදී එක්වන්නේ වසර 13කට පසුවය. මීට පෙර දෙවිදුහල අවසන් වරට 2012 වසරේ තරගාවලියේදී මුහුණට මුහුණ තරග වැදුණු අතර, ජයග්‍රහණය හිමිවූයේ ඉසිපතන කණ්ඩායමටය. දෙපිලම මෙතෙක් ජනාධිපති කුසලාන අවසන් මහා තරග 4කදී මුණගැසී ඇති අතර, අවස්ථා දෙක බැගින් දෙපිලම ජයගත්තේය. ඉසිපතන විදුහල් පිල තිනේත්‍ර දොඩංගොඩ විසින් මෙහෙයවනු ලබන අතර, සිවුවැනි ශූරතාව හඹා යන ත්‍රිත්ව විදුහල් පිල මෙහෙයවනු ලබන්නේ උස්මාන් ෂෆ්රාස් විසිනි.
1987 පළමු වරට දෙපිල තරග වැදුණු ජනාධිපති කුසලාන අවසන් මහා තරගයෙන් ත්‍රිත්ව විදුහල් පිල ජයග්‍රහණය අත්කරගත් අතර, 1993දී ඉසිපතන විදුහලට ජය හිමිවිය. අනතුරුව 2011 අවසන් තරගයෙන් ජයගැනීමට සමත්වූ ත්‍රිත්ව විදුහල් පිලට 2012දී ඉසිපතනය හමුවේ අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදු විය.
වත්මන් ශූරයන් වන ඉසිපතන විදුහල් පිල මේ දක්වා අවසන් මහා තරග 27කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් අවස්ථා 13කදී කුසලානය දිනා ගැනීමට සමත්විය. අවසන් වරට 2013දී වෙස්ලි විදුහල් පිල හමුවේ අනුශූරයන් බවට පත්වූ ත්‍රිත්ව විදුහල් පිල මේ දක්වා අවසන් මහා තරග 5කට ක්‍රීඩා කර ඇති අතර ඉන් අවස්ථා 3කදී කුසලානය දිනාගැනීමට සමත් විය.
ත්‍රිත්ව විදුහල් පිල සිය තුන්වැනි ජනාධිපති කුසලානය දිනාගනු ලැබුවේ වසර 17කට පසුව 2011 වසරේදීය. එවර ඔවුන්ට කුසලානය දිනා ගැනීමට මඟපෙන්වූ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම් 2013 දක්වා අඛණ්ඩව තුන්වතාවක්ම ත්‍රිත්ව විදුහල අවසන් මහා තරගයට රැගෙන ගිය අතර, පසුව ඉසිපතන විදුහල් පිලේ පුහුණුකරු ලෙස 2014 සිට 2016 දක්වා අඛණ්ඩව එම විදුහල් පිල ජනාධිපති කුසලාන අවසන් මහා තරගයට රැගෙන යෑම කැපීපෙනිණි. එහිදී 2014 සහ 2016 ජනාධිපති කුසලානය ජයගැනීමට ද ඉසිපතනය සමත් විය.