කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33000ක් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරළීමෙන් සිදු වූ ඉන්ධන කාන්දුවෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13000ක් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරියකු පැවසීය.
එම බවුසරයේ පෙට්‍රල් ලීටර් 13800ක් සහ ඩීසල් ලීටර් 13200ක් ප්‍රවාහනය කරමින් තිබියදී එම බවුසර් රථය හැටන් නුවරඑළිය, කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ට්‍රන්වත්ත ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළීමෙන් එම බවුසර් රථය ප්‍රවාහනය කළ පෙට්‍රල් සහ ඩීසල් කාන්දු වීමත් සමඟ ප්‍රදේශවාසීන් ඉන්ධන බූලිවලට රැගෙන ඉන්ධන රැගෙන ගිය අතර, බවුසර් රථය අනතුරට පත්වන අවස්ථාවේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉහළ කොත්මලේ ජලාශයට එක්වී ඇත.
අනතුරට පත් බවුසරයේ තිබූ ඉතිරි ඉන්ධන කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරින් විසින් බවුසර් රථ යොදාගෙන ඉවත් කර ගෙන ඇත.
බවුසර් රථය අනතුරට පත් වූ ස්ථානයට පහළින් වූ තේ වතු ගණනාවක වතු කම්කරුවන් පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවලටද ඉන්ධන එක් වී ඇති අතර, මේ පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ නියමයෙන් විමර්ශනයක්ද ආරම්භ කර ඇත.
ඉන්ධන ප්‍රධාන මාර්ගයේ සහ ජල මූලාශ්‍රවලට මුසු වීම හේතුවෙන් විශාල පරිසර හානියක්ද සිදු වී ඇත.