බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා සංගමය පිහිටුවීමේ රැස්වීම ඉකුත් 09වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි.එම්. කලීල් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
රැස්වීමේදී, ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා තේරී පත් විය.
මෙහිදී ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ අතර පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය මෙම හමුවේදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකාවේ ජනතාව වසර ගණනාවක් පුරා පලස්තීන ජනතාව සමඟ නිරන්තරයෙන් සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති බව ද මෙහිදී සාකච්ඡා විය.
2015 වසරේදී ප්‍රථම වරට පිහිටුවන ලද ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, දෙරට පාර්ලිමේන්තු අතර සාකච්ඡා සහ සහයෝගීතාව වර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් කෙරිණි. මෙම සංගමය නැවත පිහිටුවීම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්රවල සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වේ.