Sunday, May 18, 2025
Home » ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක්

ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක්

by chanaka
May 17, 2025 12:17 pm 0 comment

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ආයතන අතර සාකච්ඡාවක් ඊයේ(16) පැවැත්විය.

එම සාකච්ඡාව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම සාකච්ඡාවේදී වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහල නැංවීම, එම වෘත්තීය පුහුණු පාඨමාලා දෙස් විදෙස් රැකියා ඉලක්කගත කරමින් නිර්මාණය කිරීම, වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතන ආයතන වල කාර්යභාරයන් නිශ්චය කර ගැනීම, මෙරට රාජ්‍ය හා පුද්ගලික වෘත්තීය පුහුණු ආයතන වලින් අධ්‍යාපනය හදාරා නික්ම යන සිසුන් ඉන්පසු රැකියා වෙළඳපළ තුළ ස්ථානගත වීම පිළිබඳ පසු විපරම් කිරීම ආදි කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි. මෙම කරුණු පිළිබඳව පුළුල් පර්යේෂණයක් සිදු කිරීමටත්, එමෙන්ම මීට අදාලව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.
ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීමට අදාල කටයුතු සැලසුම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

විදේශ රැකියා නියෝජිත ආයතන හරහා වසරකට ලක්ෂ 12 පමණ රැකියා ප්‍රමාණයක් මෙරටට හිමිවන නමුත් එම රැකියා සඳහා යොමු වන පිරිස ලක්ෂ 3කටත් අඩු බවත් මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය. මෙරට තරුණ තරුණියන්ට ලබා දෙන වෘත්තීය පුහුණුව දැන් පවතින තත්ත්වයෙන් ඉදිරියට ගැනීම පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ජාත්‍යන්තර රැකියා වෙළඳපළ තුළ දැනට පවතින රැකියා අවස්ථාවන්ට අමතරව පවතින රැකියා අවස්ථා පිළිබඳවත්, පුද්ගලික ආයතන මගින් ලබාදෙන වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා එම පාඨමාලා නියාමනය කිරීම පිළිබඳවත්, මෙරට රැකියා වෙළඳපළ පිළිබඳවත් අධ්‍යයනය කරන්න ඉදිරි සැලසුම් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා හා අධ්‍යාපන උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT