තිස්වසරක් පුරාවට ශ්‍රී ලාංකිකයන් අසීමිතව පීඩාවට පත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය පැතිරවූ අමානුෂික භීතිය මැඬලමින් රටම වෙළාගත් ත්‍රස්තවාදය පරදා අද ට (18) වසර 18ක් සපිරේ.
2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදා අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්වූයේ උතුරේ බලහත්කාරයෙන් ප්‍රාණ ඇපයේ රඳවා සිටි දෙමළ ජනතාව දහස් ගණනි හමුදා සෙබළුන් විසින් මුදාගැනීමත් සමඟ ය.
එය ලොව දැවැන්තම මානුෂිය මෙහෙයුමයි.
ලාංකිකයන් එදා අත්කරගත් නිදහසේ යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් ‘ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය’ හෙට (19) දිනයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා පැවැත්වීමට නියමිතයි.
1975 ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලුර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවකු හෝ නොසිතන්නට ඇත.
එම ඝාතනයෙන් ඇරඹි ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි 1983 දී එල්.ටී.ටී.ඊය හමුදා සෙබලුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිරගියේය. ඒ කළු ජූලිය නමැති කළු පැල්ලම මෙරට ඉතිහාසයට එක්කරමිනි.
ඉන් පසු ගෙවුණු දශක දෙකක කාලය තුළ එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකයින්, රාජ්‍ය නායකයින්, දේශපාලඥයින්, රණවිරුවන් පමණක් නොව කුඩා දරුවන් ඇතුළුව සිවිල් වැසියන්ද දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට නම් ලබමිනි.
2001 වසරේදී ශ්‍රී ලංකා රජය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹුනත් එල්.ටී.ටී.ඊ.ය දිගින් දිගටම එය කඩකළේය. සිය ම්ලෙච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණු ත්‍රස්තයින් අතර ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව වසාදැමීම එහි උච්ඡතම අවස්ථාව විය.
ඒ අනුව නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් ලැබෙන ජල පොදක් රැකගන්නට 2006 ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම සිව් වන ඊළාම් යුද්ධයේ ආරම්භ වූයේය.
එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ එවක යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාත් , නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩත්, ගුවන්හමුදාපති එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලකත් කොටි ත්‍රසත්වාදයට එරෙහි මෙහෙයුම් දියත් කළ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් සිවිල් ආරක්ෂක බලකායත් , පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා පොලිස් සේවයත් ඊට නොමඳ සහායක් ලබාදුනි.
දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කරගැනීමට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජය කරමින් මෙරට හමුදා ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද එහිදී සාර්ථකව ජයගත්හ.
ත්‍රස්තවාදයෙන් බැටකමින් සිටියදී පවා ප්‍රබල පීඩනයකට ශ්‍රී ලංකාවට එල්ල කළ විදෙස් බලපෑම් වට පවා යටත් නොවෙමින් ගෙන යනු ලැබූ ඒ මානුෂිය මෙහෙයුම අදට වසර 16 කට පෙර හරියටම අද වන් දිනක නිමා වූයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කර ශ්‍රී ලංකාවට සාමය උදාකර දෙමින්ය.
ඒ අනුව 2009 මැයි මස 18 වනදා ඒ ඓතිහාසික දිනයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කෙරුණේ යළිත් සාමකාමී යුගයක් මෙරට ජනතාවට උදාකර දෙමිනි.
තිස් වසරක සාපලත් යුද්ධයකින් පීඩා විඳි අප එම ව්‍යසනයෙන් මුදාගත් ශ්‍රී ලාංකික රණවිරුවන්ට ජාතියක් ලෙස අප කෘතඥ විය යුතු ය.
නැවතත් එවන් සාපකාරී ත්‍රස්තවාදයක් නිර්මාණය නොවීම සඳහා සහෝදරත්වයෙන් එක්ව කටයුතු කිරීම මෙන්ම එවැනි කිසිදු ආකාරයේ ත්‍රස්තවාදී පියවරකට අලගු තැබීමට හෝ කටයුතු නොකිරීමේ වගකීම ලාංකික සැම හමුවේ පවතින යුතුකමයි.