Home » 16වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති එයි

16වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති එයි

by chanaka
May 18, 2025 12:42 pm 0 comment

හෙට(19) පැවැත්වෙන 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන බව රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් තහවුරු කළේය.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම සැමරුම පිළිබඳව කරන ලද පූර්ව දැනුවත් කිරීමේදී, ජනාධිපතිවරයාගේ සහභාගිත්වය පිළිබඳව සඳහන් නොකිරීම නිසා, ඒ පිළිබඳව කතාබහක් නිර්මාණය වී තිබේ.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට රණවිරු සැමරුම සිදුකෙරේ.

16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවය 2025 මැයි 19 වැනි දින සවස 4 සිට 6 දක්වා කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකයේදී පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම උත්සවයට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගී වනු ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් ඇතුළු හමුදා නායකයන් ද උත්සවයට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා අවසාන පරිත්‍යාගය කළ විරුවන්ට ජාතික උපහාරයක් ලෙස මෙම උත්සවය පැවැත්වේ.

සන්නද්ධ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සංවිධාන කරන ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ද අනුස්මරණයට සමගාමීව පවත්වනු ලැබේ.

රටේ රණවිරුවන්ට ගෞරව කිරීම සහ ඔවුන්ගේ කැපවීම සහ සේවය සඳහා රටේ සාමූහික කෘතඥතාව නැවත තහවුරු කිරීම සඳහා එක්සත්ව සිටින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT