ගත සිත සිහිල් සුවයෙන් සතපාලන මන්දමාරුතයක් ඇදී යයි. බැලූ බැලූ අත පෙනෙන්නේ ඒ මන්දමාරුතයේ නටන රක්ත වර්ණ මල් පිරුණු තැනිතලාව ය. කලකට පෙර දරුණු සටනක් පැවති සලකුණක් හෝ නොමැත. රණවිරු ලෙයින් පෙනුණු පොළොවේ රක්ත වර්ණ පොපි මල් පිපී ඇත්තේ යුද්ධයෙන් මිහිතලය කම්පා වී ඇති බව පෙන්වීමට මෙනි.Ó
පළමු වැනි ලෝක යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකරනු පිණිස ලියැවුණු සාහිත්‍යමය වර්ණනයක එසේ සඳහන්ව තිබුණි. ඉන් අනතුරුව සෑම වසරකම පොපි මල් දිනය දා මියගිය රණවිරුවන් සැමරීම පුරුද්දක් ලෙස සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ද වාර්ෂිකව පොපි මල් සැමරුම සිදු කෙරෙන අතර පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනය සඳහා වෙන් කිරීම සිදු කෙරිණි.
1934-1935 කාලපරාසයේදී ශ්‍රී ලංකාවේ ඇති වූ මැලේරියා වසංගත සමයේදී සුබසාධන කටයුතු සඳහාත් ශ්‍රී ලාංකේය හිටපු හමුදා සේවකයන්ගේ සුබසිද්ධිය සලසනු පිණිසත් සූරිය මල් ව්‍යාපාරය පිහිට වූ බව දේශපාලන ඉතිහාසයේ සඳහන් වෙයි. පසුකාලීන වාමාංශික බහුජන දේශපාලනික ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා ද සූරිය මල් ව්‍යාපාරයෙන් ලැබුණු පිටුබලය ඉමහත් ය. උතුරු නැඟෙනහිර යුද්ධයේ තීරණාත්මක කාලපරිච්ඡේදය වූ 2004 – 2005 දී ශ්‍රී ලංකාවේ මානෙල් මල් ව්‍යාපාරය නම් වූ සමාජ, දේශපාලනික සංවිධානයක් ඇති විය.
ජාතිකවාදී සංකල්පය මුල් කරගත් මෙම සංවිධානයේ මූලික අරමුණ වූයේ උතුරු නැඟෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටින හමුදා සෙබළුන්ගේ මානසික ධෛර්යය නඟාසිටුවීමේ කාර්යයයි. එම ව්‍යාපාරය මානෙල් මල් ව්‍යාපාරය ලෙස නම් කිරීමේදී ඊට පෙර පැවති එවැනි සංවිධාන වූ සූරිය මල් ව්‍යාපාරය හෝ පොපි මල් ව්‍යාපාරය මඟින් ලැබුණු ආදර්ශය කෙතරම් දුරට බලපෑවේ දැයි යන්න අපි නොදනිමු. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වූ නිල්මහනෙල් මල එයට සම්බන්ධ කරගැනීම සඳහා හේතුකාරක වූයේ ද යන්න ද විමසිය යුත්තකි.
කෙසේ නමුත් මේ සියලු තත්ත්වයන් මැද මැයි 18 යන දිනය ශ්‍රී ලාංකේය දේශපාලනික ඉතිහාසය තුළ සටහන් වන්නේ ම්ලේච්ඡ කුරිරු ත්‍රස්තවාදය අවසන් කළ දිනය වශයෙනි. මෙරට වර්ගවාදයට හා බෙදුම්වාදයට නැවතීමේ සලකුණ තැබූ දිනය වශයෙනි. 2009 මැයි 18 වැනි දින සිට සෑම වසරකම මෙම දිනය ජාතික රණවිරු සැමරුම් දිනය ලෙස නම් කොට එය උත්සවශ්‍රීයෙන් සැමරීම නොකඩවා සිදු කෙරිණි. එසේ නම් මෙම ජාතික රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වීම රජය සහ ආරක්ෂක අංශ විසින් නොකඩවා සිදු කරනු ලැබූ කාර්යයක් බව සඳහන් කළ යුතුය.
බත්තරමුල්ලේ මේ සඳහා ඉදිකෙරුණු ජාතික රණවිරු සැමරුම් ස්මාරකය ඉදිරිපිට මල් කලඹක් තබා එම රණවිරුවන්ට උපහාරය පුදකිරීම සිදු කෙරිණි. කවර තත්ත්වයක් යටතේ වුවද යුද්ධයකදී ඒ හා සම්බන්ධිත දෙපාර්ශ්වයම ද නිරායුධ සිවිල් ජනතාව ද මියයෑම සිදු වේ. මියගිය ඕනෑම පාර්ශ්වයක් අනුස්මරණය කිරීම, ඔවුන් වෙනුවෙන් පහනක් දැල්වීම වැරදි සහගත ක්‍රියාවක් යැයි අපි නොදකිමු. ඊට හේතුව කෙනකු වීරයකු ලෙස අර්ථදක්වන පුද්ගලයා තවත් කෙනකුට ද්‍රෝහියකු විය හැකි බැවිනි. එම නිසා කවර හෝ තත්ත්වයක් යටතේ මියගිය අයකු අනුස්මරණය කිරීම සඳහා පහන් දැල්වීම හෝ අනුස්මරණය කිරීම වැරදිසහගත ක්‍රියාවක් නොවන බව අපගේ හැඟීමයි. ශ්‍රී ලංකාවේ යුද්ධය හමාර වී දශක එක හමාරකට ආසන්න කාලයක් ගත වුව ද යුද්ධය නිසා පරිපීඩිතභාවයට පත්වූ මිනිසුන්ගේ මානසික තත්ත්වය පිළිබඳව තවමත් සාධාරණයක් ඉටුවී නොමැත. අහිමි වූ ජීවිත, අහිමි වූ දේපළ, සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ පිරිස් කොතරම් නම් වෙත් ද? සාමය පිළිබඳව ජයකෙහෙළි නංවද්දී අපට අමතකව යන සමාජ යථාර්ථය එයයි.
යුද ජයග්‍රහණයට මුල පිරූ, ඒ සඳහා ලේ කඳුළු, දහදිය හෙළූ රණවිරුවන් සැමරිය යුතු ය. ඒ වෙනුවෙන් වන සාහිත්‍යයක් ද ශ්‍රී ලාංකේය සමාජය පුරා පැතිරී තිබුණි. යුද්ධයට සම්බන්ධ වූ සමහර නිලධාරීන් යුද සාහිත්‍ය පතපොත ලියා රුපියල් ලක්ෂ ගණනින් උපයාගත් කාලපරිච්ඡේදයක් ද තිබුණි. දැන් ඇත්තේ පශ්චාත් යුද සමයයි. එහිදී රණවිරුවන් මෙන්ම යුද්ධයේදී මියගිය සියලු පාර්ශ්ව සැමරිය යුතුව ඇත. නමුත් එය සැමරීමෙන් ඔබ්බට ගමන් කළ යුතු ක්රියාමාර්ගයකි. යුද්ධය නිසා හිමි වූ අමිහිරි සමාජ අත්දැකීම් සමාජ ප්රගමනයේ දිශාවට යොමු කරවාගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.
ගෝලීය සමාජ දේශපාලනයේ බලඅරගලය තුළ බර අවිවලින් දේශපාලනය තේරීමේ කාලපරාසය හමාරවී තිබේ. දැන් ඇත්තේ යුද්ධය වෙනුවට සාමයේ දිශාවට පරිවර්තනය වීමේ කාලපරාසයයි. යුද්ධය යනු අතීතකාමී අත්දැකීමකි. එය ඉතිහාසයේ එක්තරා කාලපරිච්ඡේදයක් ලෙස සනිටුහන් වී තිබේ. එම නිසා යුද්ධය වෙනුවට සාමයේ දිශාව තෝරා ගැනීම බෙදී වෙන්වීම වෙනුවට සාමූහිකත්වය තෝරාගැනීම අත්‍යවශ්‍ය වී තිබේ. වාර්ගිකත්වයේ භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවර්ග එකට එකතු වූ සහෝදරත්වයේ දේශය ගොඩනැඟීම මේ මොහොතේ තීරණාත්මක කාර්යභාරයක් වී ඇත.
එහිදී යුද්ධය නිසා ඉරිතැළුණු සිත් සුවපත් කිරීම කාලීන අවශ්‍යතාවකි. මන්දයත්, අනාගත සාධාරණත්වයේ ලෝකය ගොඩනඟා ගැනීමේදී වාර්ගික සහෝදරත්වය අත්‍යවශ්‍ය කාරණයක් වන හෙයිනි.