Home » මගී ප්‍රවාහනයට ප්‍රමිතිගත බස් රථ යෙදවිය යුතුයි

මගී ප්‍රවාහනයට ප්‍රමිතිගත බස් රථ යෙදවිය යුතුයි

-මහාචාර්ය අමල් කුමාරගේ

by sachintha
May 19, 2025 2:24 am 0 comment

මාර්ග අනතුරු පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබේ. එයට හේතුව බවට පත්ව තිබෙන්නේ කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර සහ ඉන්පසු එක දිගට සිදු වූ අනතුරුය. එයට හේතු වූ කරුණු මොනවාද ? මේ තත්ත්වය වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාපිළිවෙත් මොනවාද ? ඒ ආකාරයේ අනතුරුවලට හේතු මොනවාද යන්න පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ හා කාර්යඋපාය ඉංජිනේරු අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය අමල් කුමාරගේ මහතා දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකැසුණි.

ජනගහනය වැඩි වීමත් සමඟ මාර්ගයට පිවිසෙන මාර්ග ප්‍රමාණය ද වසරින් වසර වැඩිවෙමින් තිබේ. එහෙත්, එයට සාපේක්ෂව අප රටේ පාරවල් සංවර්ධනය වූවාද යන්න සලකා බැලිය යුතුය. අද වනවිට මෙරට සිදු වන සෑම මරණ තිස්පහකට එක් මරණයක් සිදුවන්නේ මාර්ග අනතුරක් නිසාය. මීට අවුරුදු විස්සකට පෙර මාර්ග අනතුරු මඟින් සිදු වුණු මරණ ප්‍රමාණය මරණ පනහකට එකක්ව තිබුණි. එය අදවන විට වැඩිව තිබෙන බව පැහැදිලිය. මෙහිදී අප රට සහ රටේ මාර්ග පද්ධතිය දියුණු යැයි සඳහන් කිරීම තුළ විශාල කතිකාවතක් ඇතිව තිබේ. එසේනම් අප මාර්ග පද්ධතිය දියුණු යැයි සඳහන් කිරීම තුළ ප්‍රශ්නාර්ථයක් ඉතිරිව තිබේ. අද වනවිට මාර්ග එක රැල්ලට කාපට් මාර්ග බවට පත්ව තිබේ. නවීන වාහනවලින් මාර්ග පිරී ඉතිරී ගොස් තිබේ. බැලූ බැල්මට අපට පෙනෙන්නේ අප ඉතාමත් දියුණු ප්‍රවාහන ක්‍රමයක් ඇති දියුණු රටක් බවය. එහෙත් බැලූ බැල්මට ඇතිවන මෙම සිතුවිල්ල සැබෑවක් හෝ යථාර්ථයක් නොවේ. අප දියුණු යැයි සිතුවාට අප නිසි ලෙස දියුණු වී තිබේද යන්න සලකා බැලුවහොත් පැහැදිලි කරගත හැකි කරුණක් වන්නේ අප නිසි ලෙස දියුණුවට පත්ව නොමැති බවයි. එනිසා මෙම තත්ත්වය හොඳින් සලකා බලා කටයුතු කළ යුතුය.

නොසැලකිලිමත් රිය ධාවනය

බොහෝ විට අනතුරක් සිදු වූ විට සිදුවන දේ බවට පත්ව වන්නේ පුද්ගල වැරදි මතුකරමින් මාධ්‍ය අනතුරු පිළිබඳව වාර්තා පළ කිරීමය. එහිදී මූලික කරුණ බවට පත්වන්නේ රියැදුරු කළ වැරදි හෝ එම සිදු වීමට දායක වූ පිරිස් පිළිබඳව වැරදි පෙන්වා දීමය.

නැතහොත් සිදුවන කාර්යය බවට පත්වන්නේ නොසැලකිලිමත් රිය ධාවනය යන වරද පටවා චෝදනා එල්ල කර රියැදුරු සියයට සියයක් වැරදිකරු කර නීතිය ඉදිරියට පැමිණවීමය. තවත් අවස්ථාවක සිදුවන කරුණක් වන්නේ මේ චෝදනා එල්ල කර රියැදුරාගේ රියැදුරු ධාවන බලපත්‍රය මාස කිහිපයට තහනම් කිරීමය, නැතිනම් ජීවිත කාලයටම තහනම් කිරීමය. රියැදුරු සියයට සියයක් වැරදි යැයි අපි සඳහන් නොකරමු. එහෙත්, බොහෝවිට සිදුවනු ලබන්නේ දුර්වලම තැනින් වැරදිකරු සොයා ඔහු මත වරද පැටවීමය. එසේ කිරීම මඟින් සිදුවන එකම දේ වන්නේ පුද්ගලයකු මත වරද පටවා ප්‍රශ්නයෙන් මඟහැර යාම පමණක් වන අතර එසේ නැතිව ප්‍රශ්නයට මෙයින් කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැත.

දැන් සිදු කළ යුතුව තිබෙන්නේ ඇතිව තිබෙන ප්‍රශ්න මතුපිටින් අතගෑම නොව වැරදි සහ අඩුපාඩු පිළිබඳව නිසි ලෙස සලකා බලා ප්‍රශ්න සඳහා නිසි විසඳුමක් පිළිබඳව සලකා බැලීමය.

අප රට තුළ මාරාන්තික අනතුරු රැසක් සිදුව තිබේ. අනාගතයේදී ද එවැනි අනතුරු ඇතිවීමට ඉඩ තිබේ. එහෙත්, එම අනතුරුවලින් අප පාඩම් ඉගෙන තිබේ ද යන්න සලකා බැලිය යුතුය. එවැනි අනතුරු නැවත නැවතත් ඇති වීම නවතාලීම සඳහා අප වැඩපිළිවෙළක් ඇති කර තිබේ ද යන්න වෙනම සලකා බැලිය යුතුය. එදා ඇති වූ අනතුරින් අප පාඩමක් ඉගෙන ගත්තා නම්, අද අනතුර ඇති නොවීමට ඉඩ තිබුණි. මෙවැනි අනතුරක් සිදු වූ විට බටහිර රටවල නම් අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික සහ ස්වාධීන පරීක්ෂණයක් සිදු කරනු ලබයි. එම පරීක්ෂණය නිසි ස්වාධීන පරීක්ෂණයක් ලෙස සිදු කරනු ලබන අතර එහිදී වාර්තාවන සහ හඳුනාගනු ලබන අඩුපාඩු මොනවාද යන්න සලකා බලා නැවත එවැනි අනතුරු සිදු නොවන ආකාරයට කටයුතු සිදු කරනු ලබයි.

අපේ රටේ සිදුවනු ලබන්නේ මාධ්‍ය මඟින් සිදු කරනු ලබන වාර්තා පළ කිරීම් සහ ප්‍රකාශ ලබා ගැනීමකින් මෙම අනතුර පිළිබඳව කරුණු නිමාවට පත්වීමට විශාල ඉඩක් ඇති වේ. මෙසේ නිර්පාර්ශ්වික සහ ස්වාධීන පරීක්ෂණයකින් පසු අදාළ කරුණු පිළිබඳව නිර්දේශ යොමුවන අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම මඟින් නැවතත් එවැනි අනතුරක් ඇතිවීම පාලනය කර ගැනීමට හැකියාව ලැබේ. එවැනි අනතුරකට හේතු වූ කරුණු මොනවාද යන්න නිරීක්ෂණය මඟින් අනාගතයේ ඇතිවන අනතුරු පාලනය කිරීමට හොඳ අවස්ථාවක් තිබේ.

උදාහරණයක් ලෙස එක් අනතුරකට හේතුව පටු පාලමක් නම්, රට පුරා එවැනි පටු පාලම් ඇති අනතුරුදායක ස්ථාන පිළිබඳව නිරීක්ෂණය කර, එවැනි අනතුරු ඇතිවීමේ අවස්ථා වැළැක්වීමට කටයුතු කළ හැකිය.

මෙසේ හඳුනාගනු ලබන ස්ථාන හඳුනාගනු ලැබූ පසු එම ස්ථාන, “බ්ලැක් ස්පොට්”, නමින් හඳුන්වනු ලබන අතර එවැනි තැන් නිවැරදි කර ගැනීමට හොඳ අවස්ථාවක් තිබේ. මූලික වශයෙන් කළ යුතුව තිබෙන්නේ බ්ලැක් ස්පොට් හඳුනාගැනීම පමණක් නොව එම ස්ථාන ඉතාමත් ඉක්මනින් නිවැරදි කිරීමය. බොහෝවිට කලක සිට බලධාරීන් උනන්දු වන්නේ අධිවේගී මාර්ග ඉදිකිරීම, අලුත් පාලම් ඉදිකිරීමටත්ය.

බ්ලැක් ස්පොට්

එහෙත්, මාරාන්තික අනතුරු ඇති විය හැකි, බ්ලැක් ස්පොට්, හඳුනාගෙන එම ස්ථාන නිවැරදි කිරීම අධිවේගි මාර්ග ඉදිකිරීම සහ අලුතින් පාලම් ඉදිකිරීම මෙන්ම අතිශය වැදගත් කාර්යයකි. ජාත්‍යන්තර ප්‍රමිතිය සලකා බැලුවහොත් අප රටේ මහා මාර්ග පද්ධතිය තුළ බ්ලැක් ස්පොට් ලෙස නම් කළ හැකි ස්ථාන ඕනෑතරම් හඳුනාගත හැකිය.

සැබැවින්ම ජාතික ආරක්ෂාව මෙන්ම මාර්ග ආරක්ෂාව යන්න ද එක ලෙස වැදගත් දෙයකි. පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා මාර්ග ආරක්ෂාව ද ජාතික ආරක්ෂාව මෙන්ම වැදගත්ය. අද වනවිට මාර්ග අනතුරු නිසා වර්ෂයකදී සිදු වන මරණ ප්‍රමාණය තුන්දහස ඉක්මවයි. මෙහිදී පොලීසියේ දායකත්වය ද විශාල ලෙස මෙම කාර්යය සඳහා ලබා ගැනීමට පුළුවන.

පෞද්ගලික අංශයේ බස් රථ සේවාව පිළිබඳව ද අදහස් මතුව තිබේ. මෙම සේවය පෞද්ගලික වුවද සේවාව පොදුය. හුදෙක් මෙය ‘බිස්නස්’ එකක් පමණක් නොවේ. පෞද්ගලික බස් රථ සේවයේ ප්‍රමිතිය පිළිබඳව හඳුනාගැනීමක් නැති අතර එයට හේතුවක් විය හැක්කේ නිසි ලෙස නියාමනයක් නොමැති වීමය. මෙහිදී මෙම බස් රථ සේවාවෙන් මගියා පිළිබඳව තැකීමක් නොකර කටයුතු කිරීම පැහැදිලිව දැක ගැනීමට පුළුවන. පෞද්ගලික අංශය ලාභය පමණක් අපේක්ෂා කර කටයුතු කරන අතර පාන්දර සහ රාත්‍රියේ ගමන් වාර මඟහරින ආකාරයක් දැක ගැනීමටද පුළුවන. මෙයට හේතුව බවට පත්වන්නේ පෞද්ගලික බස් රථ ලාභය පමණක් පදනම්කර කටයුතු කිරීමය. මේ තත්ත්වය තුළ කළ හැකි හොඳම විකල්පය බවට පත්වන්නේ පෞද්ගලික බස් රථ සමුපකාර හෝ පරිපාලන සමාගමක් වෙත පවරා දීමය. එමඟින් පෞද්ගලික බස් රථ සේවාවට පොදු ප්‍රමිතියක් ඇති කර ගැනීමට හැකියාව තිබේ. ලෝකයේ කිසිදු තැනක තනි තනි පුද්ගලයන්ට අයිති බස් පොදු ප්‍රවාහන කටයුතුවල නියැළෙන්නේ නැත. එහෙත්, ලෝකයේ එසේ වුවද අපේ රටේ තත්ත්වය ඊට වෙනස්ය.

ඉලෙක්ට්‍රික් බස් රථ

අප රටේ බස් රථවල ධාවන ප්‍රමිතිය පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබේ. මීට දශක පහකට පෙර මෙරටට ගෙන්වන බොහෝ බස් රථවල තිබුණේ යුරෝපීය ප්‍රමිතියයි. අප රටට ආනයනය කරනු ලැබුවේ යුරෝපීය ප්‍රමිතිය සහිත බස් රථයි. එහෙත් මෙම බස් රථවලට තිබුණේ අධික මිලකි. ඒ තත්ත්වය තුළ ඉන්දියානු බස් රථ මෙරටට ආනයනය කළ අතර, එම බස් රථවල ප්‍රමිතිය පහළය. එයද අනතුරුවල තත්ත්වය බරපතළ වීමට එක් හේතුවක් වී තිබේ.

දැන් ලෝකයේ තිබෙන්නේ ඉලෙක්ට්‍රික් බස් රථය. වායු සමනය කළ බස් රථය. ඒ තත්ත්වය තුළ අප රටට ද අවශ්‍ය වන්නේ එවැනි බස් රථය. විදේශ ආයතන, සංවිධාන අප රටට ද ඒ ආකාරයේ ප්‍රමිතිය සහිත බස් රථ ලබා දීමට කටයුතු සූදානම් කර තිබුණ ද අවුරුදු පහක් ගත වුවද එවැනි ආකාරයේ බස් රථ මෙරටට ගෙන ඒමට බලධාරීන් කටයුතු සිදු කර නැත. ඇත්තෙන්ම දැන් අප රටට අවශ්‍ය වන්නේ ඒ ආකාරයේ ඉහළ ප්‍රමිතිය සහිත බස් රථය. ඒ නිසා නූතන ලෝකයට, තාක්ෂණයට ප්‍රමිතියට ගැළපෙන ආකාරයේ බස් රථ ලබාගැනීම මඟින් අනතුරු වළක්වා ගැනීමට පුළුවන.

උදිත ගුණවර්ධන

ඡායාරූපය-සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT