Home » මැරෙනව ද මරනව ද මරාගෙන මැරෙනව ද?

මැරෙනව ද මරනව ද මරාගෙන මැරෙනව ද?

by sachintha
May 19, 2025 1:43 am 0 comment

ඔරුවෙන් පාරුවෙන් ගමන් කළ මිනිසා අද වන විට යාන වාහනවලින් යාමට තරම් දියුණු වෙලා. නවීන පන්නයේ මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන, සාගරය, ගොඩබිම යන අංශ තුනෙන්ම ඉතා නවීන ආකාරයට ගමන් කිරීමට හැකියාව උදාවෙලා තියෙනවා.

එහෙම වුණාට මේ සැබැවින් ම දියුණුවක් වෙලාද යන්නත් ප්‍රශ්නයට ලක්වන අවධියක්. අද වන විට නිරන්තරයෙන්ම අසන්නට දකින්නට ලැබෙන්නේ මාර්ග අනතුරු ගැන. මේ මාරක අනතුරු නිසා ඉතා වටිනා ජීවිත රැසක් අපට අහිමි වෙනවා. හැම දිනයක ම කිසියම් දුක්ඛදායක මාර්ග අනතුරක් හෝ කිහිපයක් අපට අසන්නට ලැබෙනවා.

ලෝකේ මේ තරම් දියුණු නම් ඇත්තට ම මාර්ග අනතුරු සිදුවන්නේ ඇයි? මාර්ග අනතුරු වීමට බලපාන්නේ මිනිසාගේ විනය පිරිහීම ද? වර්තමානයේ කතා කළ යුතුම මාතෘකාවක් තමයි මාර්ග අනතුරු කියන්නේ.

මාර්ග අනතුරුවලට වගකියන්න ඕනේ විනයක් නැති රියැදුරන්ද, පාරේ ගමන් කරන මගීන් ද, ඒ රථවාහනවල ඇති අඩුපාඩු ද, නැත්නම් මහා මාර්ගවල පවතින දුර්වලතා ද එහෙමත් නැත්නම් මේ සියල්ලගේම එකතුවකින් මාර්ග අනතුරු සිදුවනවා ද ? යන්න අප සාකච්ඡා කරන්න ඕන.

අපි බලමු රියැදුරන් නිසා මාර්ග අනතුරු සිදුවන්නේ කොහොමද කියලා. කිසියම් රථයක් පැදවීමට ඒ සඳහා අනුමත බලපත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ වාහන ලයිසන් එකක් තියෙන්න ඕන. ඉතින් මේ ලයිසන් එක තිබුණු පලියට ම නිසි ආකාරයට මාර්ගයේ වාහනයක් පදවාගෙන යන්න පුළුවන් ද? විශේෂයෙන් ම කිසියම් වාහනයක් පදවනවා නම් ඔහුට ඉතා විශාල වගකීමක් තියෙනවා. අංක එකට ඔහු නීරෝගි සෞඛ්‍ය සම්පන්න මනුෂ්‍යයෙක් වෙන්න ඕන . මාර්ගයේ නීති රීති පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම ඔහු ඒවා නිසි ලෙස පිළිපදිමින් ගමන් කරන්න ඕනේ. එහෙත් අපට බොහෝ විට පෙනෙන දෙයක් තමයි ඔවුන් මේ දේවල් පිළිබඳව ලඝුකොට සලකන බව.

විශේෂයෙන් ම පොදු ප්‍රවාහනයේ නිරතවන රියැදුරන් මාර්ග නීති රීති උල්ලංඝනය කරන ආකාරය අපි දැකලා තියෙනවා. බොහෝ විට බස් රථ රියැදුරන් ජංගම දුරකතනය කනේ ගසාගෙන ම වාහනේ පදවන ආකාරය සුලබයිනේ.

අනිත් කාරණය තමයි ලාභය. ඉතා වේගයෙන් වාහන පැදවීම ඉතා භයානක තත්ත්වයක්. ඔවුන්ට වගකීමක් තියෙනවා තමන්ගේ බසය තුළ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව. එය නොතකා වේගයෙන් ගොස් අනෙක් බසය පසුකොට තමන්ගේ ලාභය වැඩි කරගැනීමට ගමන් කිරීම මාර්ග අනතුරුවලට අත වනන ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා.

අනෙක් කාරණය දුර ගමන් සේවා ගමන් කිරීම. මේ සඳහා විවිධ හේතු බලපාන්නට පුළුවන්. එක් අයෙක් දිගු දුරක් ගමන් කිරීමේදී නින්ද ඇතිවීම සාමාන්‍ය සිද්ධියක්. කායික මානසික වෙහෙස නිසා මෙසේ වන්නට පුළුවන්. ඒ පිළිබඳ අදාළ නිලධාරීන් සොයා බලා නිසි පිළියම් යොදන්න ඕන .

රියැදුරන් ඉතාම හොඳින් තමන්ගේ කාර්ය සිදු කළත් තමන් ගමන් කරන වාහනය නිසි තත්ත්වයේ නොමැති නම් මාර්ග අනතුරු සිදුවන්න පුළුවන්. විශේෂයෙන් ම රථයක් පාරට දැමීමට පෙර ඔවුන් එහි ප්‍රමිතිය පිළිබඳ විමසා බලන්න ඕන. මම හිතන්නේ ලංකාවේ මේ පිළිබඳව විශාල ගැටලුවක් පවතිනවා. රථ වාහනවල නිසි තත්ත්වය සලකා බැලෙනව බොහොම අඩුයි.

ඊළඟ කාරණය තමයි ලංකාවේ මාර්ග කොයි තරම් දුරට මේ ගමන් කිරීම් සඳහා සුදුසු ද යන්න. ඒ මාර්ගවල දෙපස තියෙන තත්ත්වයන් , අනාරක්ෂිතතාවන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු කරන්න ඕන. එවැනි ප්‍රදේශවල වාහනය සෙමින් පදවන්නට අවශ්‍ය යැයි සංඥා තිබුණත් එසේ සිදුනොවන අවස්ථා අපි දැක තිබෙනවා.

ඒ වගේම අපි නිරන්තරයෙන් දකින දෙයක් තමයි මාර්ගවල තරුණයන් ගමන් කරන ආකාරය. ඔවුන් විවිධ වැඩ දැමීමට මාර්ගය ක්‍රීඩා පිටියක් බවට පත් කර ගෙන තියෙනවා. තනි රෝදයෙන් යතුරු පැදිවල ගමන් කිරීම, ඒ වගේම ත්‍රිරෝදරථවලින් එවැනි විවිධ ක්‍රියා සිදුකිරීම දකින්න පුළුවන්. මේ නිසා ඔවුන් පමණක් නොවේ තව බොහෝ දෙනෙක් අනතුරට ලක්වෙන්න පුළුවන්.

යුද්ධයකින් මිය යනවට වඩා මාර්ග අනතුරු නිසා ඉතා වටින ජීවිත රැසක් අපට අහිමි වෙනවා. ඒ නිසා මේ කාරණයට ඉතා ඉක්මන් විසඳුම් ලබා දිය යුතුයි. මාර්ග නීති දැඩි කිරීම, ඒවා පිළිබඳ නිසි නියාමනයක් සිදුවීම, අනිවාර්යෙන් ම සිදුවිය යුතු වෙනවා. නැත්නම් හැමදාම අසන්නට දකින්නට ලැබෙන්නේ මෙවැනි දේවල්. තමන්ගෙ පවුලේ අයෙක් පාරට බැස්සට පස්සේ ගෙදරට එනකම්ම කොයි තරම් බයකින්ද ඉන්න වෙන්නේ. එසේ සිදුවනවා නම් අප ලබන දියුණුව කවරක්ද? මම හිතන්නේ රජයට ලොකු වගකීමක් තියෙනවා මේ පිළිබඳව. ඒ වගේ ම අපට පෞද්ගලිකව සිදු කළ යුතු වගකීම් තියෙනවා. රජයකට පමණක් මෙවැනි දේ සිදු කරන්නට බැහැ . අපේ විනය අප නිවැරදිව සකසා ගන්නවා නම් අපට පුළුවන් වෙනවා මාර්ග අනතුරු වළක්වා ගන්න. මරණය අතේ තබාගෙන පාරේ ගමන් කරනවාට වඩා නිදහසේ ගමන් කිරීමට හැකියාව ලැබෙන අනාගතයක් අපට ඕන. මම හිතන්නේ ලංකාවේ හැම කෙනෙක් ම මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුමයි.

පාරවල් තියෙන්නේ ඉස්සරහට යන්න. ඒ පාරකදි ම ජීවිතයට තිත තියන්න වීම කොයිතරම් කනගාටුදායක් දෙයක් ද කියලා හිතන්න. මේ ලැබුණු ජීවිතය නිරපරාදේ නැති කර ගැනීමට අවශ්‍ය නෑ. ඒ වගේ ම අනුන්ගේ ජීවිතයක් නිරපරාදේ විනාශ කරන්න අයිතියකුත් නෑ.

අද සිටවත් අපි විනයෙන් වැඩ කරමු. දුර දකිමු. ජීවිත සුරකිමු. මාර්ග අනතුරුවලින් තොර කලාපයක් නිර්මාණය කරගනිමු..

මනෝජ් ප්‍රසන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT