අප හැමෝම ගතකරන්නේ ඉතා අවිවේකී ජීවිතයක්. ඉතින් අවිවේකී ජීවිතයක් ගත කරන අපිට විවේකය අත්‍යවශ්‍ය අංගයක්. විවේකය යනු අප කරමින් සිටින වැඩ කටයුත්තකින් මඳක් වෙන්වීමයි. මේ ආකාරයට මිනිසාට කායික, මානසික හා වාචසික වශයෙන් විවේකය වැදගත් වේ. මෙලෙස වැඩ කරන පුද්ගලයාට විවේකය ලැබීමෙන් වෙහෙස නිවා ගැනීමට, සිදුකරමින් සිටි කටයුත්ත වඩාත් හොඳින් නිරවුල්ව සිදු කිරීමට හැකියාව ලැබීම, බුද්ධි සංවර්ධනය හා මානසික සුවය ඇතිවීම යනාදී වශයෙන් වාසි රැසක් ළඟා වනු ඇත. මෙහිදී අප විවේකය ගතකරන විට එය නිවැරදි ආකාරයට ගතකිරීමට වගබලාගත යුතුය. නැතහොත් එය අපගේ වටිනා කාලය විනාශ කිරීමක් වනු ඇත.
පාසල් අධ්‍යාපනයේ නිරත වන දරුවන් පිළිබඳ අවධානය යොමු කරන විට අද වන විට දරුවන් තරගකාරී අධ්‍යාපන රටාවකට හුරු වෙමින් කාලයත් සමඟ ඉදිරියට යන පිරිසක් බවට පත් වී ඇත. ඔවුන් තුළ එකිනෙකා අතර විශාල තරගකාරීත්වයක් නිර්මාණය වී ඇති අතර, පස්වැනි ශ්‍රේණියේ දරුවන්ගේ සිටම තරගකාරීත්වයක් විශාල වශයෙන් දැකගත හැකිය. බොහෝ වේලාවට මේ ආකාරයට මවුපියන්ගේ බලපෑම මත දරුවන් තරගයකට යොමු කිරීමට උත්සහ කිරීම දැකගත හැකිය. එම නිසා පාසල් අධ්‍යාපනයට අමතරව උපකාරක පන්තිවලට කුඩා කල සිටම දරුවා යොමු කිරීමට මවුපියන් උනන්දුවක් දක්වයි. එම නිසා දරුවාගේ සුන්දර ළමා කාලය ඔවුන්ට අහිමි වීමේ ප්‍රවණතාවක් අද වනවිට හඳුනාගත හැකිය. දරුවන් යනු නිදහස් මනසක් ඇති පිරිසක්. ඔවුන්ට විවේකය ඉතා වැදගත් වේ. මේ වනවිට තිබෙන තරගකාරීත්වයත් විශාල වශයෙන් දරුවාට විවේකය අහිමි වී ගොස් සුන්දර ළමා කාලයට බාධාවන් එල්ල කර ඇත. එම නිසා දරුවාට විවේකයේ සුවය විඳීමට අවස්ථාව ලබාදීමට මවුපියන් කටයුතු කළ යුතුය. යහළුවන් සමඟ ටික වේලාවක් ක්‍රීඩාවේ නිරත වීම, අත්වැඩ කිරීම, බයිසිකල් පැදීම, චිත්‍ර ඇදීම යනාදී වශයෙන් ළමා මනසට සතුටක් දනවන විවේකයක් ඉතා වැදගත් වේ. සැමවිටම තම දරුවන් රොබෝවරුන් නොවේ යැයි මවුපියන් විසින් සිතට ගතයුතුය. මෙවැනි විවේකය තුළින් කායික ලෙස හොඳ ව්‍යායාමයක් මෙන්ම මනසට සතුටක් ගෙන දේ. තවදුරටත් තාක්ෂණයේ පවතින දියුණුවත් සමඟ බොහෝ දරුවන් අන්තර්ජාලය තුළ අතරමං වී ඇති අතර මෙමඟින් ද දරුවන්ට අහිතකර තත්ත්වයන් උදා කර දෙයි. එම නිසා අධ්‍යාපන කටයුතු අඩාල වීම, විවිධ මානසික ගැටලුවලට ගොදුරුවීම යනාදී වශයෙන් ගැටලු රැසක් ඇතිවේ. මෙවැනි ක්‍රියා නිසා විවේකය නිවැරදි ගත කිරීමට බාධා පමුණුවන අතර දරුවාට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. දරුවාගේ විවේකය නිවැරදි ලෙස ගතකිරීමට මවුපියන් නිවැරදිම මඟ සොයා දීමට වගබලාගත යුතුය. ඒ අනුව විවේකය පිළිබඳ කතා කරන විට විවේකය නිවැරැදි ලෙස ගත කිරීම තුළින් සුවදායක ජීවිතයක් ගත කරමින් අධ්‍යාපන කටයුතුවලින් ජය ලැබීමට හැකිය.
එමෙන්ම තරුණ, වැඩිහිටි පිරිසට ද විවේකය යනු ඉතා වැදගත් සාධකයකි. විශේෂයෙන් තරුණ ප්‍රජාව විවේකය ලෙස දකින්නේ වැරදි මාවත් බව විශාල වශයෙන් හඳුනාගත හැකිය. එම නිසා බොහොමයක් තරුණ ජීවිත විනාශයට යාමක් දැකගත හැකිය. විවේකය යනු කාලය නාස්ති කිරීමක් නොවන අතර එය තමාට වැඩදායක ආකාරයට ගතකිරීමට තමා වගබලාගත යුතුය. දරුවන් මෙන්ම තරුණ පිරිස් ද අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇති අතර විවේකය, සම්පූර්ණයෙන්ම තම ජංගම දුරකතනය සමඟ ගතකිරීමට ඔවුන් උත්සාහ කරයි. එබැවින් විවිධ මානසික රෝග, අක්ෂි දුර්වලතා, කායික දුබලතා වැනි අහිතකර ප්‍රතිඵල ලබා දීම මිසක විවේකය සුවදායක නොවේ. එම නිසා අප නිවැරදි ආකාරයකට විවේකය ගත කිරීමට අනුගමනය කළ යුතු ක්‍රම මොනවාදැයි සොයා බැලිය යුතුය. එහි දී කවි, නිසදැස් ලිවීම්, චිත්‍ර ඇඳීම, තම ආදරණීයන් සමඟ මොහොතක් ගතකිරීම, පරිසරයේ සුන්දරත්වය විඳීම, පොත් කියවීම, චාරිකා යෑම, ගීතවලට සවන් දීම, චිත්‍රපටයක් බැලීම යනාදී වශයෙන් තමාට වැඩදායී වන ආකාරයට තම විවේකය ගත කළ හැකිය. මෙමඟින් ඔබගේ මනසට ද විවේකය ලැබෙන අතර තම විවේකය තුළදී ඉදිරි වැඩ කටයුතු හොඳින් කර ගැනීමට හැකිවනු ඇත. මෙය වැඩිහිටි පිරිසට ද වැදගත් වේ. තම දරුවන්ගේ කටයුතු, රාජකාරි කටයුතු සමඟ ඔට්ටු වන ඔවුන්ට ද විවේකය වැදගත් වේ. මේ ආකාරයට බලන කල විවේකය අප සැම දෙනාටම ඉතා වටිනා සාධකයකි. ජීවිතය තුළ කරටකර සටන් කරමින් ඉදිරියට යන අප සියලු දෙනාටම සුවදායක ජීවිතයකට විවේකය අත්‍යවශ්‍ය මෙන්ම එය වැඩදායක ලෙස ගත කිරීම ජීවිතයේ ඉදිරි ගමනට වැදගත් රුකුලක් වේ.
අනුත්තරා පතිරණගේ