Home » පංචකර්මයෙන් නැවුම් පණක්

පංචකර්මයෙන් නැවුම් පණක්

-ආයුර්වේද වෛද්‍ය ඒ. එම්. කේ. බී. අත්තනායක

by sachintha
May 19, 2025 1:50 am 0 comment

පංචකර්ම ක්‍රමවේදය සම්බන්ධයෙන් කුරුණෑගල ඩී. බී. වෙලගෙදර ආයුර්වේද රෝහලේ වෛද්‍ය ඒ. එම්. කේ. බී. අත්තනායක මහතා සමඟ කළ කතා බහ මෙසේ දක්වමු.

 

පංචකර්ම ප්‍රතිකාර ක්‍රමය කියන්නේ කුමක්ද?

පංචකර්ම ප්‍රතිකාර ක්‍රම යනුවෙන් හැඳින්වීමේදී චිකිත්සා පහක් ගැන කියැවෙනවා. පංච කර්මයේදී කර්ම යන්නෙන් අදහස් කෙරෙන්නේ චිකිත්සා ක්‍රමයයි. සම්ප්‍රදායන් දෙකක් තිබෙනවා. ධන්වන්තරී සම්ප්‍රදාය සහ ආත්‍රෙය සම්ප්‍රදාය කියලා. ආත්‍රෙය සම්ප්‍රදායේදී කාය චිකිත්සා සම්ප්‍රදාය ක්‍රියාවට නංවනවා. දන්වන්තරී සම්ප්‍රදායේදී ශල්‍ය අංශය සැලකීමක් කරනවා. පංචකර්ම එලෙස බෙදීමේදී සම්ප්‍රදාය දෙකේදී පොඩි වෙනසක් තිබෙනවා. ආත්‍රෙය සම්ප්‍රදායේ ප්‍රධාන පොත වන්නේ චරක. ධන්වන්තරී සම්ප්‍රදායේදී ප්‍රධාන පොත වන්නේ සුශ්‍රැත. වමන, විරේචන, අනුආස්‍රන, නිරූහ, නස්‍ය කර්ම ලෙස චරක හඳුන්වා දී තිබෙනවා. වමන, විරේචන, වස්ති, නස්‍ය, රක්තමෝක්ෂණ ලෙස සුශ්‍රැත හඳුන්වා දී තිබෙනවා.

 

* වමන, විරේචන, වස්ති, නස්‍ය, රක්ත මෝක්ෂණ ක්‍රමයන් ගැන තවදුරටත් විග්‍රහ කිරීමක් කළොත්?

වමන කර්මය යනු මුඛයෙන් දෝෂ බැහැර කිරීම. විරේචන කර්මය යනු අඳෝ මාර්ගයෙන් දෝෂ බැහැර කිරීම. වස්ති කර්මය යනු මුත්‍රාශය, ගුද මාර්ගය, කාන්තාවන්ගේ ගර්භාශය යනාදියෙන් දෝෂ බැහැර කිරීම. නස්‍ය යනු නාසයට ඖෂධ යොදා ශරීරයේ උඩ කොටසේ තිබෙන දෝෂ බැහැර කිරීමේ ක්‍රමයට. රක්තමෝක්ෂණය කියන්නේ ශරීරයේ යම් කොටසක රුධියට එළිය බැහැර කර ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය. වමන කර්මයේදී කප දෝෂය ශෝධනය කරනවා. විරේචනයේ දී පිත දෝෂය ශෝධනය කරනවා. වස්තිවලදී වාතය බැහැර කිරීමක් කරනවා. නස්‍යවලදී කප දෝෂය ශෝධනය කරනවා. රක්තමෝක්ෂණයේ දී රුධිරය පිරිසිදු කරනවා. එක් එක් දෝෂයට අනුව ප්‍රතිකාර නියම කරනවා. ප්‍රධාන කර්මය, පූර්ව කර්මය, පශ්චාත් කර්මය ලෙස කොටස් තුනකින් පංචකර්මය සමන්විත වෙනවා.

 

වමන කර්මය ගැන පැහැදිලි කිරීමක් කළොත්?

සිරුරේ ඌර්ධව භාගය හෙවත් ඉහළ කොටස්වල ඇති දූෂිත දෝෂ කොටස් මුඛ මාර්ගය ඔස්සේ බැහැර කිරීම මෙමඟින් සිදු කරනවා. එම නිසා මෙම කර්මය ඌර්ධවභාග විරේචනය ලෙසත් හඳුන්වනවා. දෝෂ තත්ත්වයන් ඉවත් කිරීමේ ක්‍රමවේද අතුරින් ප්‍රමුඛ ස්ථානයක් මේ සඳහා හිමි වෙනවා. වමන කර්මය සෑමවිටම විරේචන කර්මයට පෙර සිදු කළ යුතුයි. ආයුර්වේදයේ සඳහන් වන පීනස, කුෂ්ඨ, ස්වාස, ගලගණ්ඩ, ප්‍රමේහ, විසූචිකා, විසර්ප, පූතිනාස, කර්ණ ස්‍රාව යනාදී බොහෝ රෝග තත්ත්වයන්ට වමන කර්මය සිදු කරනවා.

විරේචන කර්මය ගැන කෙටි හැඳින්වීමක් කරන්න ?

විරේචනය යන්නෙන් අදහස් වන්නේ දූෂිත වූ දෝෂ අධෝ මාර්ගය ඔස්සේ බැහැර කිරීම. විශේෂයෙන්ම විරේචන කර්මය පිත දෝෂය නිසා ඇති වන රෝගයන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් යෝග්‍ය වෙනවා. එමෙන්ම පිත-කප දෝෂයන්ගේ එකතුවෙන් ඇති වන රෝගවලට ප්‍රතිකාර කිරීමට ද විරේචනය සිදු කරනවා. ආයුර්වේදයේ සඳහන් වන භගන්දර, ගුල්ම, ආලාසක, හෘල්ලාස, ශ්ලිපද යනාදී රෝග අවස්ථාවන්හිදී විරේචන කර්මය සිදු කරනවා.

නස්‍ය කර්මය පැහැදිලි කර දෙන්න ?

උගුර, කන, නාසය, ඇස් ආදී ශීර්ෂගත රෝගවලට ප්‍රතිකාර කිරීමට නස්‍ය කර්මය භාවිත කරනවා. එයිනුත් නාසය ආශ්‍රිත රෝගවලට නස්‍ය කර්මය සුවිශේෂි වෙනවා. ඊට අමතරව බාහු ආශ්‍රිත රෝග තත්ත්ව මුඛය සහ දත්වල ඇති වන රෝගවලට ප්‍රතිකාර කිරීමටද නස්‍ය කර්මය යොදා ගන්නවා.

වස්ති කර්මය පැහැදිලි කර දෙන්න ?

තවත් එක් ප්‍රධාන ශෝධන කර්මයක් ලෙස ආයුර්වේදයේ භාවිත වන වස්ති කර්මය හඳුන්වන්න පුළුවන්. මේ සඳහා වස්ති යන්ත්‍රය භාවිත වෙනවා. ඒ හේතුවෙන් මෙම ප්‍රතිකාර ක්‍රමය ‘වස්ති’ ලෙස හඳුන්වනවා. අතීතයේදී මෙම වස්ති යන්ත්‍රය නිපදවීම සඳහා සතුන්ගේ මුත්‍රාශ භාවිත කර තිබෙනවා. පසුකාලීනව වස්ති යන්ත්‍රය සත්ත්ව මුත්‍රාශවල අනුරූ ලෙස ලෝහයෙන් නිමවා තිබෙනවා. වස්ති කර්මය බොහෝ රෝග අවස්ථාවන්ට සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කරනවා. විශේෂයෙන්ම වාත රෝග අවස්ථාවන්ට ප්‍රතිකාර ලෙස යොදන වස්තිය වයස් සීමාවකින් තොරව කුඩා ළමුන්ට මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ටද භාවිත කරනවා. වස්ති යන්ත්‍රයට පුරවන ඖෂධීය ද්‍රව ප්‍රධාන වශයෙන් ගුද මාර්ගය ඔස්සේ ශරීරගත කරනවා. මූත්‍ර මාර්ගය ඔස්සේ ද එම ඖෂධ ශරීරගත කරනවා.

රක්ත මෝක්ෂණය යනු කුමක්ද ?

මේ ප්‍රතිකාර ක්‍රමයේදී දූෂිත වූ රුධිරය සහ පිත සිරුරෙන් ඉවත් කිරීමක් සිදු කරනවා. ඒ සඳහා ජලෞකා සහ අලාබු යන ක්‍රම භාවිත වෙනවා. ජලෞක ක්‍රමයේදී ඖෂධීය කූඩැල්ලන් යොදාගෙන ප්‍රතිකාරය කරනවා. මෙම ඖෂධීය කූඩැල්ලන් විෂෙන් තොර සතුන් වෙනවා. ප්‍රධාන ලෙසම පිරිසිදු ජලයේ ජීවත් වන මෙම කූඩැල්ලන් විශේෂය ඔවුන්ගේ ශරීර ලක්ෂණ පදනම් කරගෙන විෂ සහිත කූඩැල්ලන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමට පළපුරුදු වෛද්‍යවරයාට හැකියාව තිබෙනවා.

කූඩැල්ලන් අදාළ ස්ථානයේ තබා රුධිරය ආහාරයට ගැනීමට සැලැස්වීම මෙහිදී සිදු කරනවා. එක් කූඩැල්ලෙකු එක් රෝගියෙක් සඳහා පමණක් භාවිත කෙරනවා. අලාබු ක්‍රමයේදී රුධිරය ඉවත් කිරීමට විශේෂිත උපකරණයක් භාවිත වෙනවා. මෙහිදී රුධිරය ඉවත් කිරීමට අදාළ ස්ථානය සියුම්ව සිදුරු කිරීමක් කළ යුතුයි.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT