ප්රශ්නය – මාස කිහිපයක සිට මාගේ සිරුරේ තැන තැන බිබිලි ඇතිවී තිබෙනවා. රතු පැහැති ඒවා සමහරක් කළු පැහැ ගැන්වී තිබෙනවා. අඩු වැඩි වෙමින් ඒවා පවතිනවා. තවම හොඳ වී නැහැ. ඖෂධ ගැනීම නැවැත්වූ විට වැඩි වන ගතියක් තිබෙනවා. කැසීමක් නැහැ. ඒත්, යමක වැදී පිටත සම ඉවත්වූ විට තුවාල එනවා. ඒවා සුවවීමත් ප්‍රමාදයි. මා දියවැඩියාවටත් බෙහෙත් ගන්නවා. ආයුර්වේද ඖෂධ කලක් කිරීමෙන් පසුවයි නැවත මෑතකදී මා බටහිර ඖෂධවලට යොමුවුණේ. මේ තත්ත්වයට පිළියම් තිබෙනවාද?
සුරංගි – කඳාන
පිළිතුර – ඇතැම් විට මෙය දියවැඩියා රෝගය නිසා ඇතිවන්නක් විය හැකියි. දියවැඩියා තත්ත්වයේ බලපෑම් නිසා ඇතැමුන්ගේ සමෙහි බිබිලි විශේෂයක් හට ගත හැකියි. මෙය පාදවල ඇතිවන්නටත් පුළුවන. ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ. තවත් සමහරුන්ගේ කොලෙස්ටරෝල් වැඩිවූ විටදීත් සමෙහි බිබිලි හට ගත හැකියි. එහිදීත් කොලෙස්ටරෝල් පරික්ෂාවකට යොමුවීම වැදගත්. තවත් විටෙකදී විෂබීජයක් ශරීරගත වූ විටදීත් මෙවැනි රතු පැහැති බිබිලි ඇතිවන්නට පුළුවන. ඊට ප්‍රතිකාර තියෙනවා. ඒ හැරෙන්නට විවිධ ඖෂධ ගත් විටදීත් මෙවැනි බිබිලි ඇතිවන්නට ඉඩ ඇත. ඔබ වයස සඳහන් කර නැත. උපදෙස් දීමේදී එය ද සැලකිල්ලට ගත යුතු හෙයින් වයස සඳහන් නොකිරීම මෙහිදී අඩුවකි.
2. ප්රශ්නය – මට දිවා රාත්‍රී දෙකේදීම ක්ලාන්තගතිය, කරකැවිල්ල ඇති වෙනවා. ඇඟට අමාරු, අප්‍රාණික ගතියත් එනවා. හිමොග්ලොබින් අඩුකම මට ඇතැයි මෑතකදී හඳුනාගනු ලැබුවා. දැන් ඊට බෙහෙත් ගන්නවා. විෂබීජයක් ශරීරගත වීමෙන් පසුව නොයෙක් ගැටලුවලට මුහුණ දීමටත් මට සිදු වුණා. මාසයක් පමණ රෝහල්ගතව සිටියා. දැන් පාදයක තුවාලයකටත් බෙහෙත් ගන්නවා. දැන් මට මෙතරම් අපහසුතා ඇතිවී තිබෙන්නේ හිමොග්ලොබින් අඩුකම මුල්කරගෙනද? නැතිනම් මේ තත්ත්වයන් සියල්ලම නිසාද?
විමලා – අඟුණකොළපැලැස්ස
පිළිතුර – එක් එක් වයස් කාණ්ඩවලදී හැදෙන රෝග වෙනස්. ඒ සඳහා දිය යුතු ඖෂධ සඳහා ද එය බලපෑම් කරයි. ඒ නිසා ඔබට නිශ්චිත උපදෙසක් දීමට අපහසුය. නිතරම වයස, ප්‍රතිකාර ගන්නා වෙනත් රෝග තත්ත්වයන් පිළිබඳත් කෙටියෙන් සඳහන් කර එවීමෙන් පැහැදිලි පිළිතුරක් දීම පහසුය.
3. ප්රශ්නය – අවුරුද්දක පමණ සිට මා හට තදබල හිසරදයක් තිබෙනවා. දිවා, රාත්‍රී දෙකේදීම මේ තත්ත්වය පවතිනවා. නිතර සෙම් රෝග ඇති නිසා එහි බලපෑමකුත් මේ තත්ත්වයට ඇතැයි සිතෙනවා. ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයත් තිබෙනවා. එම තත්ත්වය වැඩිවූ විට හිසරදයේ වැඩිවීමකුත් පවතිනවා. හිසේ කුටීර තුළ සෙම සිරවී තිබුණා. නස්නයක් මඟින් මාස කිහිපයකට පෙර සෙම ඉවත් කළා. ඒත්, දෙසතියකින් පසුව නැවත පෙර පරිදි මේ අසනීප තත්ත්වය ඇති වුණා. හතිය තරමකට මට තිබෙනවා. මෙය අඩුකර ගත නොහැකිද?
ඩෙරිකා – මීගමුව
පිළිතුර – ඔබේ විස්තර කිරීම අනුව මෙය ඇදුම රෝගී තත්ත්වය විය හැකියි. කුඩා කාලයේදී හතිය රෝගී තත්ත්වය පැවතුණත් එය කලක් ගතවන විට අඩුවී මඟ හැරී ගිය බවත් සඳහන් කර තිබෙනවා. ඒ කෙසේ වෙතත්, දැන් වැඩිහිටි ඔබට මේ තත්ත්වය නැවත පවතියි නම් ඉන්හේලර් භාවිතය සුදුසු පිළියමක් බව කිව හැකියි. එම වර්ග කිහිපයක් ඇති හෙයින් වෛද්‍ය උපදෙස් ගත යුතුයි. තවද, සිරුරට විෂබීජ ආදිය ඇතුළු වූ විටදීත් පවතින හතිය ගතියේ වැඩි වීමක් දක්නට පුළුවන්. එවැනි තත්ත්වයක් වේ නම් වෛද්‍යවරුන් ප්‍රතිජීවක ආදිය නිර්දේශ කරනු ඇති. කෙසේ වෙතත්, දිගු කලක් ඔබට මේ රෝග තත්ත්වය පවතියි නම් ඒ බව වෛද්‍යවරයාට දැනුම් දිය යුතුයි.
උපදෙස්-
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, එච්.ඩී. විජේසිංහ
නුවන් ජයවික්‍රම
ඔබේ සෞඛ්‍ය ගැටලුවත් අපට යොමු කරන්න
දිනමිණ, සුව හමුව, ලේක්හවුස්, කොළඹ 10
news.dinamina@lakehouse.lk