මෙක්සිකෝ නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් අමෙරිකාවේ නිව්යෝක් නුවර බෘක්ලින් පාලමේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නාවිකයන් පුහුණු කිරීමේ නෞකාවක් වන එම නෞකාව අනතුරට ලක්වන විට එහි පුද්ගලයන් 277 දෙනකු සිටි බවත්, අනතුරින් තවත් පුද්ගලයන් 19 දෙනකු තුවාල ලැබූ බවත් නිව්යෝක් නගරාධිපතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අමෙරිකාව සහ මෙක්සිකෝ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීමේ සංචාරයක් ලෙස නිව්යෝක් නුවර බලා යාත්‍රා කළ එම රුවල් නෞකාවේ කුඹ ගස් පාලමේ ගැටී යාත්‍රාව මතට කඩා වැටී ඇති අතර, අනතුරට ලක්වී ඇත්තේ ඒ මොහොතේ කුඹ ගස් මත නැඟ සිටි නාවිකයන් බවද වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.