Home » දුම්රියේ වනඅලි ගැටීම වැළැක්වීමට රියැදුරන්ට නිලධාරීන්ට දෙදින වැඩමුළුවක්

දුම්රියේ වනඅලි ගැටීම වැළැක්වීමට රියැදුරන්ට නිලධාරීන්ට දෙදින වැඩමුළුවක්

by sachintha
May 19, 2025 1:20 am 0 comment

දුම්රියේ වනඅලි ගැටීම වැළැක්වීම සඳහා දුම්රිය රියැදුරන් සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුම්වත් කිරීමේ දෙදින වැඩමුළුවක් පසුගිය 16 සහ 17 දෙදින ගිරිතලේ ජාතික වනජීවී පුහුණු සහ පර්යේෂණ කේන්ද්‍රයේදී පැවැත්විණි.

මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තු සාමාන්‍යාධිකාරි ඇතුළු දුම්රිය නිලධාරීහු සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වන ජීවී නිලධාරීහු සහභාගි වූහ.

මෙරට විවිධ කාලවලදී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඉඩම් පරිභෝජන රටාව වෙනස් වීම, කැලෑ භූමි එළිවීම ආදිය හේතුවෙන් අලින්ගේ වාසස්ථාන අහිමි වීම අලි – මිනිස් ගැටුම උග්‍රවීමට මූලික හේතුවවී ඇත. හක්කපටස් ගිලීම, අනවසර විදුලි රැහැන්වල පැටලීම, බඳින තුවක්කු පත්තු වීම, වෙඩි වැදීම සහ දුම්රියෙහි ගැටීම ආදිය හේතුවෙන් වාර්ෂිකව වනඅලි විශාල සංඛ්‍යාවක් මියයන බව මෙහිදී අවධාරණය කෙරිණි.

අලි ගැවසෙන ප්‍රදේශවල පිහිටා ඇති දුම්රිය ස්ථාන 142ක් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත්, ගල්ඔය සිට මින්නේරිය දක්වා වූ දුම්රිය මාර්ගය වැටී තිබෙන්නේ කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්‍යානය හරහා බවත්, මහඔය සිට ගල්ඔය දක්වා දුම්රිය මාර්ගයේ වනඅලි මාරු වන ස්ථාන රාශියක් තිබෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි. දුම්රිය මාර්ගයට අලි පැමිණෙන කාලවකවානු පිළිබඳව වාර්ෂිකව අධ්‍යයනයක් කිරීමට මෙහිදී තීරණය විය. එසේම දුම්රියේ අලි ගැටීම වැළැක්වීම සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිතයට ගැනීම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ජාවට ගැනුණි.

මේ වැඩමුළුව අවසානයේදී දුම්රිය රියැදුරන් ඇතුළු පිරිසක් මින්නේරිය ජාතික උද්‍යානයේ සංචාරය කළ අතර, එහිදී ලබා ගන්නා අත්දැකීම් ද සාකච්ඡාවට බඳුන් කෙරිණි.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT