Home » භාරතීය මහා පත්‍රකලාවේදී ආචාර්ය වික්‍රම් රාඕ දිවියෙන් සමුගනී

භාරතීය මහා පත්‍රකලාවේදී ආචාර්ය වික්‍රම් රාඕ දිවියෙන් සමුගනී

by sachintha
May 19, 2025 1:00 am 0 comment

වසර 1950දී බිහි වූ ඉන්දියාවේ ප්‍රථම මාධ්‍යවේදී වෘත්තීය සමිතිය වූ ඉන්දීය වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (Indian Federation of Working Journalist) සභාපති ලෙස දිගු කලක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය වික්‍රම් රාඕ මහතා (88) පසුගියදා සිය දිවිගමන නිමා කළේය.

නොබැඳි ලෝකයේ විශාලතම මාධ්‍යවේදීන්ගේ සංවිධානය වන Indian Federation of Working Journalist ආයතනය ඉන්දියාවේ පැරණිතම සහ විශාලතම මාධ්‍යවේදීන්ගේ ආයතනයයි. ප්‍රාන්ත 29ක සහ යුනියන් ප්‍රදේශවල සඟරා, ප්‍රවෘත්ති ආයතන සහ රූපවාහිනි ජාල 1,260කට අධික සංඛ්‍යාවක ජනමාධ්‍යවේදීන් 50,000ගෙන් සැදුම්ලත් සංවිධානයකට නායකත්වය ලබා දුන් අයෙකි.

පුවත්පත් කතුවරයකු, මාධ්‍යවේදියකු, විකාශකයකු සහ රූපවාහිනි නිවේදකයකු වූ කේ. වික්‍රම් රාඕ මහතා වසර 45ක් මුළුල්ලේ සිය මාධ්‍ය ජීවිතය ගෙන ගියේය.

ඉන්දීය ප්‍රවෘත්තිකරුවන්ගේ මාසික පුවත්පත වන Working Journalist පුවත්පතේ ප්‍රධාන සංස්කාරක වූ ඔහු, ඉංග්‍රීසි, හින්දි, තෙළිඟු සහ උර්දු දිනපතා පුවත්පත් 215ක් සඳහා කාලීන සිදුවීම් පිළිබඳ තීරුලිපි රචකයෙක් ලෙස ද කටයුතු කර ඇත.

ඔහු Voice of Americaහි දකුණු ආසියානු කාර්යාංශයේ (හින්දි සේවය) වාර්තාකරු ලෙස ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා මාධ්‍ය ජාලයේ ද ක්‍රියාකාරිකයකු විය.

අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පිහිටුවන ලද මාධ්‍යවේදීන් සඳහා වන වත්මන් වැටුප් මණ්ඩලයේ ද මධ්‍යම මාධ්‍ය ප්‍රතීතන කමිටුවේ (PIB) තොරතුරු හා විකාශන අමාත්‍යාංශයේ ද ඉන්දියාවේ ව්‍යවස්ථාපිත මාධ්‍ය කවුන්සිලයේ සාමාජිකයකු ලෙස ද රාඕ මහතා කටයුතු කර ඇත.

නවදිල්ලියේ උපත ලැබූ වික්‍රම්, සමාජ විද්‍යාව, ඉංග්‍රීසි සහ සංස්කෘත සාහිත්‍ය පිළිබඳ උපාධියක් ලබා පසුව ඉන්දියාවේ ලක්නව් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

වික්‍රම් රාඕ මහතා ඉන්දියාවේ පමණක් නොව මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සාක්ෂරතාව සහ ගරුත්වය ඉහළ නැංවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකි.

අපගේ මහා පත්‍රකලාකරු ඩී. එෆ්. කාරියකරවන මහතා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා වෘත්තීය සමිතියක් (ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය හෙවත් වර්තමාන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය) ප්‍රථම වරට මෙරට පිහිටු වූයේ තම සමීපතම සහෝදර වෘත්තීය සගයකු වූ වික්‍රම් රාඕ මහතා ලබාදුන් උපදෙස් මත බවත් “ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය“ යන නම ලබා ගත්තේ ද වික්‍රම් රාඕ මහතා නායකත්වය දුන් “ඉන්දීය වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සම්මේලනය“ අනුව යමින් බව එතුමාගේ Òදසක සතක මතකÓ පොතේ ලියා ඇත.

බොහෝ ජාත්‍යන්තර ජනමාධ්‍යවේදී සම්මේලන, සමුළු හා නියෝජිත හමුවලදී වික්‍රම් රාඕ මහතා ඩී. එෆ්. කාරියකරවන මහතාට සහ ශ්‍රී ලංකා නියෝජනයට විශාල ගෞරවනීය ඉඩක් ලබාදුන් ආකාරය ද ඔහු එහි සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනමාධ්‍යවේදී සහයෝගිතා ගොඩනඟමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ඉන්දියාවේ සංචාරය සඳහා අවස්ථා සලසාදීමේ දොරටු විවර කරදුන්නේ වික්‍රම් රාඕ මහතා බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතා වික්‍රම් රාඕ මහතාගේ අභාවය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT