ජනාධිපති අරමුදල ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සාර්ථක බවත් එම සේවාව අසරණ රෝගීන් වෙනුවෙන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට කැපවෙන බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.
ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ, ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳ බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවකට එක්වෙමිනි. එම වැඩසටහන පෙරේදා (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදල වෙත වාර්ෂිකව ලැබෙන මුදල්, අසරණ ජනතාව වෙනුවෙන් දිය යුතු බවත් අසරණ රෝගීන් වෙනුවෙන් දෙන සේවාව තවදුරටත් වර්ධනය කිරීමට සියලුදෙනා කැපවී කටයුතු කළ යුතු බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් තවදුරටත් ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳ ප්‍රායෝගිකව දැනුම්වත් කිරීමට මෙම විශේෂ පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබිණි.
මෙහිදී රාජ්‍ය සේවකයා සහ මහජනතාව අතර යහපත් සබඳතා ගොඩනඟා ගැනීම සහ එම සබඳතා පවත්වා ගන්නා ආකාරය පිළිබඳ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා විසින් අදහස් දක්වන ලදි.
මීට අමතරව පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය, වෛද්‍යාධාර අයදුම්පතක් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන ඉදිරිපත් කිරීම, ජනාධිපති අරමුදලේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය මඟින් එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු පරිගණක පද්ධතිය සමඟ පරීක්ෂා කිරීම, අනුමතවීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීම පිළිබඳ ක්‍රියාවලිය සහ පරිගණක පද්ධතිය තුළ කටයුතු කිරීමේදී විෂය භාර නිලධාරීන් මුහුණදෙන ගැටලු පිළිබඳ මෙහිදී ප්‍රායෝගික සහ න්‍යයාත්මක පුහුණුවක් ද ලබා දෙනු ලැබීය.
ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය අතිශය අසරණ ජනතාවට සේවයක් සලසා දීම බවත් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේම මෙම සේවාවේ වටිනාකම සියලු රාජ්‍ය නිලධාරීන් තේරුම්ගෙන ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව ද සඳහන් කළේය.
මෙම වැඩමුළුවට එක්ව සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂයභාර නිලධාරීන් සහ නිලධාරිනියන් අගයමින් සහතික පත්‍ර පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන පී.එච්. කොළඹගේ, පී.ආර්. ප්‍රසාද් පෙරේරා, ජනාධිපති අරමුදලේ ප්‍රධාන ගණකාධිකාරි ඩී.ඒ.එම්. වික්‍රමරත්න, ජනාධිපති සහකාර ලේකම් උෂානි රත්නායක මහත්ම මහත්මීහු ඇතුළු ජනාධිපති අරමුදලේ කාර්යමණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ