Home » මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය පිරිවෙන්වලට ඉන්දියාවෙන් උපකරණ

මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය පිරිවෙන්වලට ඉන්දියාවෙන් උපකරණ

by sachintha
May 19, 2025 1:39 am 0 comment

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ පිප්‍රහ්වා ගම්මානයේ සිදු කළ කැණීම්වලින් 1898දී සොයාගත් සර්වඥ ධාතුන් වහන්සේ සහ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ආභරණ එකතුව චීනයේ හොංකොංහිදී වෙන්දේසි කිරීමට ගිය අවස්ථාවේ එය නීති විරෝධී බව ඉස්මතු කරමින් ඉන්දියාව වෙන්දේසිය අත්හිටුවා ගැනීමට සමත් වූ බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසයි.

මෙම පූජනීය වස්තූන් නිසි ක්‍රමවේදයකට අනුව යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා සැදැහැවතුන්ට සාර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව දෙන බව ද ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය පිරිවෙන් සඳහා රුපියල් කෝටියක පමණ මූල්‍යමය වටිනාකමින් යුත් ප්‍රොජෙක්ටර්ස්, ස්මාට් බෝඩ්, පරිගණක, පුටු, අල්මාරි සහ ඇඳන් තොගයක් බෙදා දීම නිමිත්තෙන් පැවති උත්සවයේදී ඉන්දීය මහකොමසාරිස්වරයා මේ බව පැවසුවේය.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ගැනීමෙන් පසු සන්තෝෂ් ජා මහතා මල්වතු මහා විහාරීය සංඝරාජ පිරිවෙන වෙත භාණ්ඩ ප්‍රදානය කළේය. එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ඉන්දීය මහකොමසාරිස්වරයා එම පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. පසුව අස්ගිරි පිරිවෙනට ගිය ඒ මහතා පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් භාණ්ඩ පරිත්‍යාගයක් ද කළේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සී නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්තෝෂ් ජා මහතා මෙසේ ද පැවසුවේය.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම 2017දී ශ්‍රී ලංකාවේ පැවති අවස්ථාවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එහි සමාරම්භයට සහභාගි වුණා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා මිතුදම බුදු දහම මඟින් වඩා ශක්තිමත් කර තිබෙන බව එහිදී අගමැතිවරයා පැවසුවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සම්බන්ධතා ප්‍රවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය 2020 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක්, ආධාරයක් ලෙස දෙන බව ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාව පුරා බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නොමිලේ සූර්ය පැනල දීමේ වැඩපිළිවෙළක් මේ යටතේ ක්‍රියාත්මකයි.

මෙම අවස්ථාවට මහනුවර ඉන්දීය සහකාර මහකොමසාරිස් සාරන්‍යා වී.එස්. මහත්මිය ද සහභාගි වූවාය.

අසේල කුරුළුවංශ, මධ්‍යම පළාත් සමූහ – නිහාල් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT