Home » මාධ්‍යවේදීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටුවන වරලත් ආයතනයට අය-වැයෙන් මිලියන 25ක්

මාධ්‍යවේදීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටුවන වරලත් ආයතනයට අය-වැයෙන් මිලියන 25ක්

-ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීමටත් අවධානය

by sachintha
May 19, 2025 1:40 am 0 comment

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේම ඉල්ලීම පරිදි පිහිටුවීමට යෝජිත වරලත් ආයතනයක් ස්ථාපිත කිරී‍මේ මූලික කටයුතු සඳහා මෙවර අය-වැයෙන් රුපියල් මිලියන 25ක් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන බව ඇමැතිවරයා පැවසුවේය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඇමැතිවරයා එහිදී මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට තිරසර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙනයෑම ප්‍රමුඛ වන බැවින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ ඉදිරි අභිවෘද්ධිය මූලික අරමුණ කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක් කරදීමේ අරමුණින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයෙන්ම පෙන්වා දී තිබූ අතර, එවන් ආයතනයක් ස්ථාපිත කර දෙන ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේම නිරත පිරිස් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

පසුගිය රජයන් කිහිපයක්ම මෙවන් වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගෙන තිබුණ ද මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලු සංවිධානවලින් නිසි පරිදි අදහස් ගැනීමකින් තොරව කටයුතු කිරීම සහ විවිධ අඩුපාඩු රාශියක් සහිතව එම කාර්යය සිදු කිරීමට යෑමෙන් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවත් මූලාරම්භයේ සිට මෙම කාර්යය නැවත ආරම්භ කළහොත් දීර්ඝ කාලයක් යළි ගතවන බැවින් දැනට පවතින තත්ත්වයේ සිට එය ඉදිරියට ගෙනයෑම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාව බවත් ඇමැතිවරයා පැවසුවේය.

ඉහත ප්‍රායෝගික වැඩපිළිවෙළ තුළින් මෙරට මාධ්‍ය වෘත්තියේ නිරතවන්නන්ට සිය වෘත්තියට වටිනාකමක් දීම මෙන්ම පරිපූර්ණ ජනමාධ්‍යවේදීන් දැයට දායාද කිරීමේ හැකියාව ලැබෙන බව ද සියලු දෙනාගේම සහයෝගය හිමි වන්නේ නම් එම කාර්යය කඩිනමින් සාර්ථකත්වයට පත්කරගත හැකි වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම සියලු කාර්යයන් ක්‍රියාත්මක කරනු ලබන්නේ මාධ්‍යයට බලපෑම් කිරීමට හෝ සීමා, වාරණ පැනවීමට නොව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ අභිවෘද්ධිය සඳහා පමණක්ම වන බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා මෙය සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ද එකඟතාව අනුව පමණක් සිදු කරන බව ද පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා කර්තෘ සංසදය, විද්‍යුත් විකාශකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමය, ශ්‍රී ලංකා පරිසර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මාධ්‍ය පැමිණිලි කොමිසම, ජාතික මාධ්‍ය පදනම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍ය සන්ධානය, මුස්ලිම් මාධ්‍ය සන්ධානය, ජාත්‍යන්තර මාධ්‍ය ක්‍රියාකාරීත්වය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය, දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සංගමය වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංවිධාන 21ක නියෝජිතයෝ සහභාගි වූහ.

මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ මූලික කරුණු වන මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් වරලත් ආයතනයක් පිහිටුවීම යන කරුණු දෙක පිළිබඳ අවධානය යොමු කරමින් මෙම මස 28 වැනි දින රැස්ව නැවත සාකච්ඡා කිරීමටත් අවස්ථාව ලැබෙන පරිදි මෙවන් සාකච්ඡා පවත්වමින් මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා කටයුතු සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.

මේ සාකච්ඡාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අති‌රේක ලේකම් එන්.ඒ.කේ.එල් විජේනායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ බණ්ඩාර මහත්වරුන් ද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති, ලේක්හවුස් ආයතනයේ සභාපති, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීහු පිරිසක් එක්ව සිටියහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT