කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens අතර හමුවක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමත් දෙරට අතර කෘෂිකාර්මික සබඳතා ඉදිරියට පවත්වාගෙන යෑමත් අරමුණු කර ගනිමින් මෙම විශේෂ සාකච්ඡාව පවත්වන ලදි.
ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ප්‍රථමයෙන්ම ජාතික ජන බලවේගය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින්, නව ආණ්ඩුව හා එක්ව විශ්වාසවන්තව සමීපව කටයුතු කිරීමට සූදානම් බව මෙහිදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ නව කෘෂිකාර්මික සහ වගා සැලසුම් පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අදහස් විමසා සිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා අවධාරණය කළේ දිගු කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා ඔස්ට්‍රේලියාව උපකාර කළ බවත් ඉදිරියේදීත් දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය මූල්‍යමය සහ උපදේශන සේවා සැපයීමට අපේක්ෂා කරන බවත්ය. එසේම ශ්‍රී ලංකාවේ කෝපි වගාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බවද මහකොමසාරිස්වරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට නම්, ඉඩම් කුඩා කැබලි වීම අවම කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටින බවත්ය. එසේම දැනට පවතින ගොවිබිම්, ගොවීන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් විශාල වගා භූමි දක්වා සංවර්ධනය කළ යුතු බවත් ඒ සඳහා ගොවීන් එකතු වී පිහිටුවා ගන්නා ලද ගොවි සමාගම් නිර්මාණය කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් කිරි ගව පාලනය සහ කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට මෙම සමාගම් ක්‍රමය යොදා ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කර, ගොවි ජනතාවගේ ආදායම වැඩි කරගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය මහකොමසාරිස් Lalita KapUr, සහ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරී Sivasuthan Ramanathan මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් අජිත් පුෂ්පකුමාර, එච්.එම්. අමරසිංහ, හේමජීව ගෝඨාභය මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් එක්වූහ.
බුද්ධිකා ඉඹුලාන