දෙණියාය, විහාරහේන ප්රදේශයේ පදිංචි කුසට මාස 9ක් වන ගැබිනි කාන්තාවක් සිය නිවෙසේ චීත්තයකින් බාල්කයේ ගෙල වැලලාගෙන සිටියදී පෙරේදා (17) රාත්රී සොයා ගත් බවට දෙණියාය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙණියාය, විහාරහේන, එන්සල්වත්ත, ඊ.ඩබ්ලිව්. කොටස පදිංචි 25 හැවිරිදි රාමසාමි ඉෂාන්ති නමැති ගැබිණි කාන්තාවක් බව පොලීසිය පැවසීය.
පෙරේදා (17) දින සවස 6.40ට පමණ අසල්වාසීන් පොලීසියට දුන් තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ 1990 සුවසැරිය ගිලන් රථ සේවයෙන් මරණකාරිය රෝහල්ගත කරනු ලැබුවේ කුසේ සිටින දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා බව පැවසේ. එහෙත් මරණකාරිය දෙණියාය මූලික රෝහලට ඇතුළත් කළත්, එම අවස්ථාව වන විටත් කුසේ සිටි දරුවාද ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙය මිය කාන්තාවගේ දෙවැනි විවාහය වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇගේ 28 හැවිරිදි සැමියා පොලීසිය මඟින් එදිනම රාත්රී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම සැකකරුගේ දෙවැනි විවාහය මෙය වන අතර එම සිදුවීම සිදුවන අවස්ථාවේ දී සැකකරු සහ මරණකාරියගේ පළමු විවාහයේ වයස අවුරුදු 07ක දරුවා ද එම නිවෙසේ සිට ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි. සිය බිරිය ගෙල වැලලා ගැනීමෙන් පසු සැකකරු නිවෙසින් පිටතට පැමිණ බිරිය මියගොස් ඇතැයි විලාප නඟා පැනගිය බවට අසල්වාසීහු පොලීසියට පවසා ඇතැයි ද වාර්තා වෙයි.
මියගිය ගැබිනි කාන්තාව දරු ප්රසූතිය සඳහා ඊයේ (18) මාතර රෝහලට ඇතුළත් වීමට නියමිතව තිබූ අතර ඇය 17 වැනි දින රෝහලේ සායනයට ද ගොස් නැවත පැමිණ රෝහල්ගත වීම සඳහා ත්රිරෝද රථයකට ද පැමිණෙන ලෙස පවසා ඇතැයි ද අසල්වාසීහු පැවසූ බව පොලීසිය කියයි.
මොරවක වැඩබලන මහේස්ත්රාත් සී.එස්. දිසානායක මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණය පැවැත්වූයේය. එහිදී ගැබිනි කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දෙණියාය මූලික රෝහලෙන් සිරුර මාතර මහ රෝහලට රැගෙන යෑමට පොලීසියට නියෝග කළේය.
මෙය සියදිවි හානි කර ගැනීමක්ද නොඑසේනම් ඝාතනයක්ද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වන බව දෙණියාය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න මහතා පැවසූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙණියාය පොලීසිය මඟින් සිදු කරයි.
ඌරුබොක්ක විශේෂ – ඒ.පී. දයාචන්ද්ර