ලුණු හිඟයට හේතුව ඒක මිස වෙන දෙයක් නොවෙයි | මහවැසි මිස අව්වක් නෑ
නෙළීමට තිබූ මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියේ ඇදහැලුණු මහ වැසිත් සමඟ දිය වී ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති. රටපුරා මේ වනවිට මතුව ඇති උග්‍ර ලුණු හිඟයට ප්‍රධාන හේතුව ලෙස බලපා තිබුණේ ලුණු නිෂ්පාදනයට නිසි අව්ව අහිමි වී ගොස් නොකඩවා ඇදහැලුණු මහවැසි බව ද ඔවුහු කියති.
ශ්‍රී ලංකාවේ සමස්ත ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම සියයට 60කට ආසන්න දායකත්වයක් දක්වා ඇති අතර නිසි අව් රශ්මිය පැවති කාලවලදී මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික අස්වැන්නක් ලබාදීමට කටයුතු කර තිබූ බව පෞද්ගලික හා රජයේ ලුණු ලේවා අංශ පවසයි.
නමුත් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල කරමින් පැවති වැසි තත්ත්වය ලුණු වගාකරුවන්ට ද බරපතළ ආර්ථික ගැටලු මතු කර තිබුණි. ලුණු නිෂ්පාදනය මේ ස්වභාවික හේතු මුල් වී අහිමි වී යෑමෙන් අනෙක් බරපතළ ගැටලුව බවට පත්වූයේ ලුණු ලේවායන්වලදී රුපියල් 1500ක මිලකට නියම වී තිබූ කිලෝ 50 බෑගයක් මේ වන විට රුපියල් 7000කට ආසන්න මිලකට ඉහළයෑමය.
එසේ වීමට හේතු වී තිබුණේ නිෂ්පාදනය අඩුවීමත් සමඟ ලැබෙන අස්වැන්න ඉහළ මිලක් වීමය. මේ මිල කිසිම විටක අනුමත කළ නොහැකි නමුත්, එය නිවෙසේ හෝ ව්‍යාපාරික කටයුතුවලට යොදා ගන්නා පිරිසට බරපතළ ගැටලුසහගත තත්ත්වයක් මතු කර ඇත්තේ රුපියල් 120කට ආසන්න මිලකට තිබූ ලුණු කිලෝව මේ වන විට රුපියල් 300 සිට ඉහළ මිලකට අලෙවි වීම මතය.
නමුත් මේ සියල්ල හමුවේ පසුගිය සමයේ දැඩි අව් රශ්මියක් පුත්තලම පතිත වී ලුණු ලේවායන්වල ලුණු පදම් වෙමින් එය යල කන්නයේ ඉහළ අස්වැන්නක් වාර්තා කරන තත්ත්වයට පත්වෙමින් තිබියදී නොසිතු ලෙස පෙරේදා(17) සිට නැවත වර්ෂාව පතිත වීමත් සමඟ නැවතත් පුත්තලමේ ලුණු අස්වැන්න නොලැබීමේ තත්ත්වයට පත්ව ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.
මේ පිළිබඳව අදහස් දැක්වූ පුත්තලම ප්‍රධාන ලුණු නිෂ්පාදකයකු වන නිලුක් දිල්හාන් මහතා මෙසේ පැවසීය.
“ඇත්තටම පසුගිය කාලයේ ලුණු නිෂ්පාදනයට පුත්තලමේ නිසි කාලගුණ තත්ත්වයක් පැවතුණේ නැහැ.ඒ නිසා අපි ගැටලු රැසකට පත්වුණා. අපි ළඟ රැකියා කළ සිය ගණනකට අද රැකියා නැහැ. මෙය ලුණු කර්මාන්තයට එල්ල කළ මරු පහරක්. මම විතරක් නොවෙයි අනෙක් ව්‍යාපාරිකයන් සියල්ලම අසරණ වෙලා. එයාලා ළඟ සේවය කළ 20000කට වැඩි සේවකයන්ට රැකියා නැති තැනට පත්වෙලා. මේ තත්ත්වය ස්වාභාවික ගැටලුවක් මිස වෙනත් කරුණක් නොවන බව මතක් කළ යුතුයි. මේ නිසා අපි රජය දැනුම්වත් කිරීමෙන් පසු ඉන්දියාවෙන් ලුණු ආනයනය කරන්න කටයුතු කළත් එය නිසි ලෙස ඉටු නොවීම තමා රටපුරා ලුණු හිඟයට බලපා තිබුණේ.මේ නිසා දැනට ඉන්දියාවෙන් කඩිනමින් ලුණු ආනයනය කළයුතු වෙනවා. එසේ නැතිව රටේ ලුණු හිඟය පියවන්න හැකියාවක් නැහැ‘‘
පුත්තලම ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති රනිස් බදුර්දීන් මහතා මෙසේ පැවසීය.
“අපේ පෞද්ගලික ලුණු ලේවායන්වල වගාකරුවන් පසුගිය යල කන්නය පටන් අරන් අස්වැන්න ලබාගන්න තිබුණේ දින කිහිපයයි. ඒ අස්වැන්න මෙට්‍රික් ටොන් 10000 ඉක්මවා යන්න හැකියාව තිබුණා. නමුත් එය මහවැස්සත් සමඟ නැවත අහිමි වෙලා. නැවත අපි අලුත් කන්නය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා යැයි ඔහු පැවසීය.
පුත්තලම අතිරේක
හිරාන් ප්‍රියංකර ජයසිංහ