Home » ජාතික රණවිරු අනුස්මරණය ජනපති ප්‍රධානත්වයෙන් අද

ජාතික රණවිරු අනුස්මරණය ජනපති ප්‍රධානත්වයෙන් අද

by sachintha
May 19, 2025 1:00 am 0 comment

දශක තුනක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සිහි කෙරෙන 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස 4 ට පැවැත්වේ.

එම අවස්ථාවට කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ද සහභාගී වීමට නියමිතය.

මෙම රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දිවයින පුරා ප්‍රජා සුබසාධන වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කරනු ලැබේ.

මේ අවස්ථාවට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත අතර හමුදා නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම සහ හමුදා සම්ප්‍රදායානුකූලව ගරු බුහුමන් දැක්වීම මෙහිදී සිදු කෙරේ.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා (16) පැවැත්විණි.

යුද්ධයේ දී මියගිය හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගෙන් ප්‍රකට වූ දේශප්‍රේමය, ආත්ම පරිත්‍යාගය සහ තම රාජකාරිය සඳහා වූ නොසැලෙන කැපවීම පිළිබඳ මතකයන් ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ස්ථිර කැපවීම ඔස්සේ එම රණවිරුවන් පිළිබඳ අප රටේ මතු පරපුරට ද පූර්වාදර්ශයක් ලබා දීම සහතික කෙරෙන බව ඔහු එහි දී අවධාරණය කළේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT