ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ලොලුව සහ නීතීඥ දිනේෂ් දොඩංගොඩ මහත්වරු ගමන්කරමින් සිටි ජිප් රථයක මඟ යතුරුපැදියකින් හරස් කර වෙඩි තබා ජිප් රථයට පහර දී තුසිත හල්ලොලුව මහතා සතුව තිබුණු ලිපිගොනුවක් රැගෙන පලාගිය සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් 04ක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම වෙඩි තැබීම හා පහරදීම පෙරේදා (17) රාත්‍රී කාලයේ දී නාරාහේන්පිට පොලිස් වසමේ කිරිමණ්ඩල මාවතේදී සිදුව ඇත.
යතුරුපැදියේ ගමන් කර ඇත්තේ වෙඩික්කරු සහ පැදිකරු පමණක් බවත් ඔවුන් පලාගිය මඟත් පැමිණි මඟත් ආරක්ෂක කැමරා ඔස්සේ විමර්ශනයට ලක්කරමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
KU 2976 අංකය දරන හල්ලොලුව සහ දොඩංගොඩ මහත්වරු ගමන් කළ ජිප් රථය නාරාහේන්පිට කිංග්ස් පෞද්ගලික රෝහල ඉදිරිපිට එව්ර්ග්‍රීන් පාක් මාර්ගයේ සිට දාබරේ මාවතට ඇතුළු කිරීමට පැමිණීමේදී යතුරුපැදියෙන් පැමිණි වෙඩික්කරු මඟ හරස් කර අහසට වෙඩි කිහිපයක් තබා එක් වෙඩිල්ලක් වාහනයට තබා ඇති බව සඳහන්ය. මෙම වෙඩි ප්‍රහාරය එල්ලවන විට මෙම දෙදෙනාට අමතරව ජිප් රථයේ රියැදුරු ද සිට ඇති බව පොලීසිය සඳහන් කරයි. ජිප් රථයට වෙඩි තැබූ වෙඩික්කරු අනතුරුව ගිනි අවියේ මිටෙන් ජිප් රථයේ වීදුරුවට පහර දී බිඳ දමා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. අනතුරුව ජිප් රථයේ සිටි පිරිසට වෙඩික්කරු විසින් පහර දී ඇති බව ද පැවසේ. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් එක් වරම ජිප් රථය හරස් කර වෙඩි තබා බියගන්වා එහි දොරවල් විවෘත කර තුසිත හල්ලොලුව යන අයට සහ අනෙත් පුද්ගලයාට පහර දී තුසිත හල්ලොලුව යන අය සන්තකයේ තිබූ ලිපිගොනුවක් රැගෙන පලා ගිය බවට ඔහු විසින් ප්‍රකාශ කර ඇතැයි මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
තුසිත හල්ලොලුව මහතා පොලීසියට පවසා ඇත්තේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තමා සමාජ මාධ්‍ය ඔස්සේ කළ යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයකට අදාළ සාක්ෂි සහිත ලියවිලි එම ගොනුවේ තිබුණු බවය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇත. එම විමර්ශනයට අදාළව තුසිත හල්ලොලුව මහතා පසුගිය 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ද ලබා දී තිබුණි.
වෙඩි තැබීමෙන් ජිප් රථයේ ඉදිරි වම්පස ප්‍රධාන විදුලි පහන අසල තහඩුවේ සිදුරක් ඇති බව පොලීසිය සඳහන් කරයි. ඒ හැරුණුකොට වෙඩි ප්‍රහාරයෙන් ජිප් රථයේ සිටි කිසිවකුටත් තුවාල සිදුව නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. පහරදීමෙන් සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර ගැනීමට තුසිත හල්ලොලුව සහ දිනේෂ් දොඩංගොඩ මහත්වරු රෝහල්ගතව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ යැයි පැවසෙන්නේ මෙරට ප්‍රසිද්ධ නීතීඥවරයකු මුණගැසීමට ඔහුගේ නිල මැදිරියට ගොස් ආපහු එමින් සිටියදීය.
ගයාන් කුමාර වීරසිංහ