Home » ජීවිත 23ක් අහිමි කළ ගැරඬිඇල්ලේ අනතුර රියැදුරුගේ වරදින් ද?

ජීවිත 23ක් අහිමි කළ ගැරඬිඇල්ලේ අනතුර රියැදුරුගේ වරදින් ද?

-තොරතුරු රැසක් ඇති බව පොලීසිය කියයි

by sachintha
May 19, 2025 1:51 am 0 comment

කොත්මලේ ගැරඬිඇල්ලේ දී ජීවිත 23ක් අහිමිකරමින් සිදුවූ රිය අනතුරට හේතුව රියැදුරුගේ වරදක් බවට සැකකරන තොරතුරු මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු මෝටර් රථ විශේෂඥයන් විසින් අනතුරට ලක්වූ බස් රථය සම්බන්ධයෙන් කළ විධිමත් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ අනතුර සිදුවන විට බස් රථයේ කාර්මික දෝෂයක් තිබී නැති බව යැයි ද එම නිලධාරියා පැවැසීය.

බස් රථය අධික වේගයකින් ධාවනය වී ඇති බවට තහවුරු වන තොරතුරු අනාවරණය වී නැතත් අනතුර වූ ස්ථානයේ දී එකවරම බස් රථය මාර්ගයේ කාපට් තට්ටුවෙන් පිට පැන පල්ලම ආසන්නයේම නතර වී ඇති බවත් ඒත් එක්කම බස් රථය දෙපැත්තට පැද්දී එකවරම පෙරළී ඇති බවත් විමර්ශනයේ දී අනාවරණය වී ඇති බව එම නිලධාරියා කීය. තුවාල ලබා රෝහල්ගත කර සිටින බස් රථයේ මගීන්ගෙන් ලබාගත් සාක්ෂිවලින් මෙන්ම අනතුර වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන්ද ඒ බව තහවුරුවන බව එම නිලධාරියා කීය.

දීර්ඝ ගමනක දී රියැදුරු විසින් පැය භාගයක් විවේක ගත යුතුව ඇතත් අනතුරට පෙර බස් රථ රියැදුරු විවේකය ගෙන ඇත්තේ විනාඩි 15ක පමණ කාලයක් බව ද විමර්ශනයේ දී පෙනී ගොස් තිබේ. ඊට මුල්වී ඇත්තේ අතර මඟදී රථවාහන තදබදයක් හේතුවෙන් විනාඩි 45ක පමණ ප්‍රමාදයක් සිදුවීම හේතුවෙන් බව ද විමර්ශනයේ දී පෙනී ගොස් ඇත. බස් රථ රියැදුරු මෙදින බස් රථය ධාවනය කිරීමේ දී සුක්කානමින් දෑත් ඉවතට ගෙන ඇඟමැළි කැඩීමක්ද සිදුකර ඇති බවට තොරතුරු ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT