Home » සිරකරුවන් ගෙනගිය බන්ධනාගාර බසය වැලිගමදී නතර කර නිලධාරීන් බැහැලා

සිරකරුවන් ගෙනගිය බන්ධනාගාර බසය වැලිගමදී නතර කර නිලධාරීන් බැහැලා

- පිටස්තරයන් බසයට ගොඩවූවාදැයි විමර්ශනයක්

by sachintha
May 19, 2025 12:55 am 0 comment

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවූවන් සමඟ වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා බන්ධනාගාර නිලධාරීන් ඉන් පිටත යෑම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී .බී .දිසානායක මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී පැවසුවේ යම් බන්ධනාගාරයකට අයත් බස් රථයක් රැඳවූවන් සමඟ බාහිර ස්ථානයක නතර කර තැබීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නොමැති බවයි. එය බරපතළ වරදක් වන හෙයින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත් සිද්ධියට අදාළ පරිශ්‍රය අවට වන සී.සී.ටී.වී. දර්ශන ලබාගැනීමට බන්ධනාගාර බුද්ධි අංශයට උපදෙස් ලබාදී ඇති බවත් ඒ මහතා කීය. පසුගිය 16 වැනිදා ගාල්ල, කරාපිටිය රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායන වෙත අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් රැගෙන විත් ආපසු යමින් තිබූ එම බස් රථය වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා අනතුරුව එහි ආරක්ෂාව සඳහා පැමිණ සිටි බන්ධනාගාර නිලධාරීන් වැලිගම නගරයේ වෙළෙඳසල් වෙත ගොස් යම් යම් ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරයත්, එයට මඳ වේලාවකට පසුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව යන ආකාරය‍ත් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තාවී තිබිණි.

මේ පිළිබඳව බන්ධනාගාර ඉහළ පාලනාධිකාරිය දැනුම්වත් කිරීමත් සමඟම අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ කළ ප්‍රශ්න කිරීම්වලදී එම බස්රථයේ සේවයේ යොදවා සිටි බන්ධනාගාර නිලධාරීන් පවසා ඇත්තේ බස්රථයට අවශ්‍ය උපාංග කිහිපයක් මිලදී ගැනීම සඳහා මෙම බස්රථය වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා තැබූ බවයි.

එහෙත් මෙම බස් රථය නවතා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරන්නේ කරපිටිය රෝහලේ වෛද්‍ය සායනයට රැගෙනවිත්, එම බන්ධනාගාර බස් රථයේ ආපසු යමින් සිටි මරණ දණ්ඩන අභියාචනා සිරකරුවකුගේ පවුලේ සාමාජිකයන් මෙම ස්ථානයේදී අදාළ බස්රථයට නැඟ එම සිරකරු සමඟ කතාබහ කරමින් සුළු වේලාවක් ගත කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එවැනි සිදුවීමක් වී ඇතිද යන්න පිළිබඳව මෙම විශේෂ පරීක්ෂණයක් මඟින් දැඩි අවධානයක් යොමු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT