Home » වාහන අලෙවි කරන බව කියමින් ගැනුම්කරුවන්ගේ මුදල්වලට විදින යුවළ සොයා CID පරීක්ෂණ

වාහන අලෙවි කරන බව කියමින් ගැනුම්කරුවන්ගේ මුදල්වලට විදින යුවළ සොයා CID පරීක්ෂණ

by sachintha
May 19, 2025 12:56 am 0 comment

පුවත්පත්වල සහ වෙබ් අඩවි දැන්වීම් දමා වාහන අලෙවි කිරීමට ඇති බව සඳහන් කරමින් ගැනුම්කරුවන්ගෙන් මුදල් තැන්පතු ලබාගෙන වංචාකර කට්ටි පනිමින් සිටින යුවළක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ලංකා කාර් වර්ල්ඩ් නමැති ආයතනයක් නමින් මෙම වංචාව සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මෙම ආයතනයේ නමින් විවිධ බැංකුවල ගිණුම් පවත්වාගෙන යමින් මුදල් බැරකරවා ගන්නේ එම ගිණුම්වලට බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම යුවළ මෙසේ වාහන පෙන්වා මුදල් බැරකරවාගෙන රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

ස්ථීර පදිංචි ස්ථානයක් සොයා ගැනීමට නොමැති මෙම යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහායද පතයි.

කාන්තාව රණසිංහ හෙට්ටිආරච්චිගේ දිස්නා ඉරෝෂණී රණසිංහ නමැති අයෙකි.

ඇය වයස අවුරුදු 42ක් වයසැති තැනැත්තියක් බව පොලීසිය සඳහන් කරයි.

පිරිමි පුද්ගලයා හේව දේවගේ සංජීව උපුල් විජේරත්න නමැති අයෙක් බව පොලීසිය සඳහන් කරයි. ඔහු වයස අවුරුදු 50ක් වන අයෙකි.

පිරිමි පුද්ගලයාගේ ඡායාරූපයක්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මෙම ඡායාරූපයේ සිටින සැකකරු ගැන යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ 071-8594911, 011-2398572 යන දුරකතන අංක වෙත හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොදු දුරකතන අංක 011-2320140 -145 ඔස්සේ අමතා ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT