Home » ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ නි‍ෙවසට රාත්‍රියේ නාඳුනන අය පැමිණීම අබිරහසක්

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ නි‍ෙවසට රාත්‍රියේ නාඳුනන අය පැමිණීම අබිරහසක්

-පොලීසියෙන් විමර්ශන

by sachintha
May 19, 2025 12:57 am 0 comment

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය ෂවීන් සේමගේ මහතාගේ පිළියන්දල, පැලැන්වත්ත නිවෙසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඇතුළු වීම සම්බන්ධයෙන් දුරකතන තාක්ෂණය ද සම්බන්ධ කර ගනිමින් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

පසුගිය 9 වැනි දින මධ්‍යම රාත්‍රියේදී එම පුද්ගලයන් නිවෙසට ඇතුළු වී තිබිණි.

එම පුද්ගලයන් දෙදෙනා විධායක නිලධාරිවරයා නිදා සිටි කාමරයට එබී බලා විනාඩි දෙකක පමණ කාලයේදී නිවෙසින් පිට වී යන අයුරු නිවෙසේ සවිකර තිබෙන සීසිටීවී කැමරාවේ ද සටහන්ව තිබිණි.

එම පුද්ගලයන් නිවෙස කරා පැමිණ ජනේලය විවෘත කරන අන්දම හා යකඩ රාමුව ගලවා නිවෙස තුළට පැමිණෙන අන්දම නිවෙසේ සවිකර තිබෙන සීසිටීවි කැමරාවේ ද සටහන්ව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

එලෙස පැමිණි පුද්ගලයන් දෙදෙනා විධායක නිලධාරිවරයාට තර්ජනය කිරීමක් හෝ නිවෙසේ කිසිදු වටිනා දේ‍ෙපාළක හෝ ලිපිලේඛනයක් රැගෙන යෑමක් සිදු නොකර තිබූ බව පොලීසිය කියයි.

දූෂණයට, වංචාවට එරෙහි නිලධාරියකු වන සේමගේ මහතා එම තනතුරේ සිටීම දූෂණ ක්‍රියාවල යෙදෙන ඇතැම් නිලධාරීන්ට දැඩි හිසරදයක් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වෛද්‍යවරයා පසුගිය 30 වැනිදා සේවයෙන් ඉල්ලා අස්වීමට ද උත්සාහ දැරීමේදී වර්තමාන රජයේ ඉහළ බලධාරීන්ගේ ඉල්ලීම මත එම තීරණය වෙනස් කර ඇති බවට ද වැඩිදුරටත් දැන ගන්නට ඇත.

මේ වනවිට ශවින් සේමගේ මහතා ජීවිත ආරක්ෂාව පතා එම නිවෙස අත්හැර ගොස් ඇතැයිද දැනගන්නට ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් සීසීටීවී දර්ශන ඔස්සේ සහ දුරකතන තාක්ෂණය ඔස්සේ විමර්ශන සිදුකෙරෙන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

කිනම් හේතුවක් මත, කාගේ වුවමනාවකට විධායක නිලධාරිවරයාගේ නිවෙසට මෙම නාඳුනන පුද්ගලයන් ඇතුළු වූවා ද? එසේ නොමැතිනම් වෙනත් පුද්ගල‍යකු ඉලක්ක කරගෙන පැමිණ යම් වැරදීමකින් විධායක නිලධාරීවරයාගේ නිවෙසට ඇතුළු වූවා ද? යන්න පිළිබඳ පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

විධායක නිලධාරි ෂවීන් සේමගේ මහතාගේ නි‍ෙවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඇතුළුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහත්වරුන්ගේ ද දැඩි අවධානය යොමුවී ඇති අතර එම නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා එම සිද්ධිය දැනගැනීමෙන් පසුව පසුගිය 10 වැනි දින පැලැන්වත්ත විධායක නිලධාරීවරයාගේ නිවෙසට ගොස් ඒ සම්බන්ධයෙන් ඔහුගේ තොරතුරු විමසා ඇතැයි ද පසුගිය (16) නියෝජ්‍ය ඇමැති වටගල මහතා පිළියන්දල පොලීසියට පැමිණ ස්ථානාධිපතිවරයා හමුවී විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ විමසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 9 වැනි දින මෙම සිද්ධිය සිදුවීමත් සමඟම ආරක්ෂාව සඳහා රාත්‍රියට පමණක් ගිනි අවි සහිතව පොලිස් නිලධාරියකු පිළියන්දල පොලීසිය මඟින් ලබාදීමට කටයුතු කළ බවත් ඔහු නිවෙසින් ඉවත්වීමත් සමඟම එම ආරක්ෂාව ද ඉවත් කළ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න, සහකාර පොලිස් අධිකාරි ලලිත් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් රත්නායක හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මෙන්ම උප පොලිස් පරීක්ෂක කවිසංක මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT