Home » මාලිමාව ජයගත් සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා

මාලිමාව ජයගත් සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා

-වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ

by sachintha
May 19, 2025 1:31 am 0 comment

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සියලුම පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට කටයුතු කරන බවත් විපක්ෂයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එකදු පළාත් පාලන ආයතනයකවත් බලය පිහිටු වීමට නොහැකි බවට අභියෝග කරන බවත් වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අනුරාධපුරයේදී ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘ජයග්‍රහණය කරලා තියෙන පළාත් පාලන ආයතන සඳහා විපක්‍ෂයේ නියෝජිතයන් මුදලට ගන්න ජාතික ජන බලවේගයට කිසිම අවශ්‍යතාවක් නෑ. අපේ ආණ්ඩුවේ එවැනි සංස්කෘතියක් ඇත්තේම නෑ. අපේ ආණ්ඩුව සමඟ ඕනෑම පුද්ගලයකුට රටේ සංවර්ධනය වෙනුවෙන් අත්වැල් බැඳගන්න පුළුවන්.

පසුගිය වසර කිහිපය තුළම රටේ සංවර්ධනය නොවූ බැවින් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාශියක් සිදු කිරීමට පවතින අතර එය එළැඹෙන දෙවැනි දින සභා පිහිටු වීමෙන් අනතුරුව තුන් වැනි දින සිට ආරම්භ කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ නගර සභාව ඇතුළු සියලු ආයතනවල සභාපතිවරු, නියෝජ්‍ය සභාපතිවරු පත්කිරීමට කිසිදු අභියෝගයක් නැහැ. පසුගිය අප්‍රේල් මාසය වනවිට 40%කින් පමණ භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කළා. ඇතැම් භාණ්ඩවල යම් හිඟයක් ඇති වෙලා තියෙනවා. ඒක පාලනය කරන්න ඒ භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කරමින් ඉන්නවා.

පසුගිය කාලයේදී පැවති වර්ෂාපතනය නිසා ලුණු නිෂ්පාදනයේ යම් හිඟයක් ඇති වුණා. ඒ හිඟය විසඳීමට ලුණු ආනයනය කිරීමට කටයුතු කළා. සහල් පිළිබඳව අර්බුදයක් මැවීමට ඇතැම් මොල් හිමියන් උත්සාහයක යෙදෙන බව අපට පේනවා. කීරි සම්බාවල පවතින මිල ඉහළ යෑම හේතුවෙන් ඊට සමාන GR 11 වර්ගයේ කීරි සම්බාවලට සමාන සහල් ආනයනය කිරීමට කටයුතු කරනවා. මේ සහල් මාෆියාව තුරන් කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යනවා.“

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT