රටේ ජාතික ආරක්ෂාව පාතාලයට හෝ දේශපාලනයට ලඝු නොකර රටේත් ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (18) ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
“රටේ ප්‍රධානියාට චෝදනා කළ පුද්ගලයකුට ඊට දින කිහිපයකට පසු වෙඩි තියනවා නම් එතන ගැටලුවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් වහාම සොයාබලා වගකිව යුතු කවුද, කියා ජනතාවට හෙළි කළ යුතුයි. මේ රටේ භයංකර තත්ත්වයක් මතු වෙමින් තිබෙනවා. තව ටික කාලයක් යන විට මේ රටේ මවුවරුන්ට තමන්ගේ දූවරු පාසල් යවන්න බැරි තත්ත්වයකට මේ ආරක්ෂාව පත්වෙන ලකුණු පහළ වෙමින් තිබෙනවා.
රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, නීතිය වල්වැදිලා. ශ්‍රී ලංකාවේ මීට පෙර සිද්ධ වූ දේවල් නොවේ, අලුතෙන් සිද්ධ වෙන්න පටන් අරගෙන තිබෙන දේවල්. අපිට ආර්ථික සංවර්ධනයට යන්න කවදාවත් මේ වගේ තත්ත්වයක් යටතේ නම් රටකට පුළුවන් වෙන්නේ නැහැ.
මේ රටේ අවුරුදු 30ක් පැවැති යුද්ධය නිම කරලා, ත්‍රස්තවාදය නිම කරලා රටට නිදහස ලබා ගත් දිනය මැයි 18 දායි. ඒ දිනය අප අමතක කළ යුතු නැහැ. මේ රටේ අදටත් මවුවරු උදේට තමන්ගේ දරුවෝ ගෙදරින් එළියට ගියාම හවස ගෙදර එයි කියලා හිත සැනසිල්ලේ ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කළේ තවත් මවුවරුන් කොටසකට ඒ තත්ත්වය නැති කරමින්. කැප කරගනිමින්.
මේ රටේ මවුවරු තම පුතුන්ගේ ජීවිත මේ යුද්ධය වෙනුවෙන් කැප කළා. මේ රටේ බොහෝ බිරින්දෑවරු උදෑසන රාජකාරියට යන සැමියා ආපසු ගෙදර එයි කියලා බියක් සැකක් නැතිව සිටියේ තවත් බිරින්දෑවරු තමන්ගේ ස්වාමිපුරුෂයාව කැපකළ අතීතයක් තුළ. ඔවුන් කළේ අපගේ හෙට දිනය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත කැප කිරීමයි.
අපි ඔවුන්ට ඒ කළගුණ සැලකීම, ඔවුන්ව සිහිපත් කිරීම සහ ආබාධිත වී සිටින රණවිරුවන් රැකගැනීම ජාතියක් හැටියට අපේ යුතුකමක්.
ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් විශාල වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. එම රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. එම රණවිරුවන් වෙනුවෙන් සහ ඒ රණවිරු පවුල් වෙනුවෙන් පෙනීසිට යුතුකම් ඉටුකරන්න ඕනෑ.