Home » මහනගර සභා සේවකයාට වෙඩි තැබූ යතුරුපැදිකරු අල්ලයි

මහනගර සභා සේවකයාට වෙඩි තැබූ යතුරුපැදිකරු අල්ලයි

by sachintha
May 19, 2025 1:01 am 0 comment

ගල්කිස්ස සිල්වෙස්ටර් පාරේ මාර්ග පවිත්‍රතා රාජකාරියේ නිරතව සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවකුට, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පසුපස එලවා ගොස් මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, එම යතුරුපැදියේ පැදිකරු ඉකුත් 16 වැනි දින, යතුරුපැදියේ කොටස් සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය, මාකුඹුර පදිංචිව සිටි පන්නිපිටිය ආරච්චිගේ දිල්රුක් අනුර කුමාර නම් 45 වියැති පින්තාරු ශිල්පියෙකි.

සැකකරු මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවකට බව ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

මෙම ඝාතනය පසුගිය 05 වැනිදා සිදුවී ඇති අතර එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ දෙහිවල, ගල්කිස්ස මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ සේවකයකු වන දෙහිවල පදිංචිව සිටි කළුතර පටබැඳිගේ නිශ්ශංක පීරිස් නම් 19 හැවිරිදි අයෙකි. මෙම තරුණයා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන දැනට බන්ධනාගාරගතව සිටින දෙහිවල චතුරී යන අයගේ පුත්‍රයකු ද වන අතර, විදේශගත ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්මල්ලී යන අයගේ ඥාතියකු ද වන බවත් අනාවරණය වී ඇත. එමෙන්ම මෙම චතුරී යන අය ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විදේශගත බඩෝවිට අසංග යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර‍ෙගන යන බවත්, ඇයගේ දියණිය කොස්මල්ලිගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බවත් හෙළි වී ඇත. මෙම අපරාධය සිදුවීමෙන් අනතුරුව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණගේ මහතාගේ ඝෘජු අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ අපරාධ අංශය ඒකාබද්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

එහිදී එදින අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයට අනුව, මෙම සැකකරුගේ හෝමාගම පිහිටි නිවෙසේ පිටුපස වත්තේ වළ දමා තිබියදී මේ සඳහා උපයෝගී කරගත් යතුරුපැදිය ගැළවූ කොටස් හා ව්‍යාජ අංක තහඩු ද, පරණ බෝතල් කඩයකට අලෙවි කර තිබියදී එන්ජින් කොටස ද සැකකරු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණගේ, පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාර, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාර යන මහතුන්ගේ

අධීක්ෂණය මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතාගේ මෙහෙයවීම මත උ.පො.ප. රන්දිම, උ.පො.ප. කවිශංක, පො.කො. (3508) කසුන්, පො.කො.රි (80965) එදිරිසිංහ යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

දෙහිවල සමූහ – ඩී.පී. හේරත් සහ

ගල්කිස්ස සමූහ – ෂෙහාන් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT