වැලිමඩ – උඩුපුස්සල්ලාව ප්‍රධාන මාර්ගයේ සිට ඌවපරණගම මානික්කා වතු නිවාස කරා ඇති අබලන් මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙසට වගකිව යුතු පාර්ශ්වවලට බල කරමින්, එහි වතු කම්කරුවෝ විසින් පසුගිය 15 සහ 17 දින දෙකෙහිදී වැඩවර්ජනයක් පවත්වා උද්ඝෝෂණයක් ද පවත්වනු ලැබූහ.
වතු කම්කරු පවුල් විශාල ප්‍රමාණයක් ජීවත්වන ඌවපරණගම මානික්කා වතුයායේ ඇති මාර්ගය වසර ගණනාවක සිට පිළිසකර නොකිරීම නිසා ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බැවින්, මියගිය අයගේ මෘත ශරීරයක් මල් ශාලාවේ සිට නිවෙසට අවමංගල රථයකින් ගෙන ඒමට පවා නොහැකිව ඇති බවත්, එනිසා අබලන් මාර්ගය පිළිසකර කර දෙන ලෙසට ඉල්ලමින් මෙම වැඩවර්ජනය හා උද්ඝෝෂණය සිදුකරන බව වතු කම්කරුවෝ පවසති. මෙහිදී අදහස් දැක්වූ ඌවපරණගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන මානික්කා වතුයායේ පදිංචි එස්. රාජදොරේ මහතා මෙසේ පැවසීය.
“උඩුපුස්සල්ලාව හා වැලිමඩ මාර්ගයේ සිට වතු නිවාස කරා පැමිණීමට තිබෙන කිලෝ මීටර් 94ක පමණ මාර්ග කොටස ඉතාමත් අබලන් තත්ත්වයේ පවතිනවා. මෙම මාර්ගයේ මිනිසුන්ට ඇවිද යෑමට හෝ සාමාන්‍ය වාහනයකටවත් ධාවනය කරන්න බෑ. අපිට මේ නිසා වාහනයකින් වතු ගම්මානයට එන්න බෑ. පාසල් යන අපේ දරුවන් ද වැසි දිනවල පුදුම දුකක් විඳින්නේ. එනිසා වතු පාලකයන් ඇතුළු වගකිවයුතු සැමගෙන් පාර පිළිසකර කර දෙන්න කියා අපි ඉල්ලා සිටියා. නමුත් පිළිසකර කර දෙන්නෙ නෑ. පසුගිය දිනක අපේ වතුයායේ ජීවත්වන අයකු රෝහලේදී මරණයට පත්වුණා. මෘතශරීරය රාත්‍රී කාලයේ මල්ශාලාවේ අවමංගල රථයකින් රැගෙන ඒමට කටයුතු යොදා තිබුණා. පාරේ අබලන් තත්ත්වය මත අවමංගල රථයේ පිරිස මෘත ශරීරය අතරමග බිම තබා, ඔවුන් තම රථය ආපසු රැගෙන ගොස් තිබෙනවා. මේ නිසා මෘත ශරීරය හිමිකරුවන් දැඩි අසීරුවට පත්වුණා.”
වැලිමඩ සමූහ – කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී