Home » ඇත්ත ලියන්න අපි ලජ්ජා වෙන්න ඕනැ නෑ

ඇත්ත ලියන්න අපි ලජ්ජා වෙන්න ඕනැ නෑ

by sachintha
May 19, 2025 2:25 am 0 comment

ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා “යහපත් සමාජයක් ගොඩනැඟීම උදෙසා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය” – ත්‍රිකුණාමලය වැඩමුළුවේදී කියයි

‘‘යුද ගැටුම් කාලයේ ත්‍රිකුණාමලයේ මාධ්‍යවේදීන් අතර ජාතිවාදය තිබුණේ නැහැ. ඒ ජාතිවාදය නොතිබීම නිසා ඔවුන්ට එදා මාධ්‍යකරණය කිරීමට හැකි වුණා. ඊට අවුරුදු තිහකට කලින් සමාජ මාධ්‍ය තිබුණේ නැහැ. නමුත් ඒ සම්බන්ධතා හැදිලා තිබුණා. මාධ්‍යවේදියකුට සම්බන්ධතා තිබිය යුතුයි. නැතිනම් මාධ්‍යකරණය කරන්න බැහැ“යැයි ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා පැවසීය.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හා ත්‍රිකුණාමල දිසාපති කාර්යාලය එක්ව “යහපත් සමාජයක් ගොඩනැඟීම උදෙසා ජනමාධ්‍යවේදියාගේ කාර්ය භාරය“යන මැයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදින් පාදක කරගෙන පැවති වැඩමුළුවක සමාරම්භක දේශනය පවත්වමින් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා එසේ පැවසීය. මෙම වැඩමුළුව පෙරේදා (17) ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා මහතා මෙසේ ද පැවසීය.

‘‘නැඟෙනහිර පළාතේ මාධ්‍යවේදීන් අතර ඇති සහෝදර බැඳීම නිසා අද ත්‍රිකුණාමලය ආරක්ෂා වෙලා තියෙනවා. ත්‍රිකුණාමලය මාධ්‍යවේදින් අතර ඒ බැඳීම පරණ මාධ්‍යවේදීන් දන්නවා. සම්බන්ධකම් කියන එක මාධ්‍යවේදියකුට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ සම්බන්ධතා මත තමයි තොරතුරු ලබාගත හැක්කේ. කලක් ත්‍රිකුණාමලයේ දිසාපති තනතුරට හා ආණ්ඩුකාර තනතුරට හමුදා ප්‍රධානීන් දෙදෙනකු පත් කරලා හිටියා. ඒ අය මාධ්‍යවේදීන් සමඟ සම්බන්ධකම් තියාගත්තේ නැහැ. ඒ අය මාධ්‍යවේ‍දීන් එනවට කැමැති නැහැ. එහෙම කාලයක් ඔබට මතක ඇති. ඔබලාට තොරතුරු දුන්නේ නැහැ. ඒ කාලේ යාපනයට වඩා ත්‍රිකුණාමලයට භයානක කාලයක්. ඒ වගේම මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් නැත්නම් ඇමැති කෙනෙක් මේ ප්‍රදේශයට පත්වෙලා ආවානම් ඔහු තමන්ගේ අය ප්‍රාදේශීය වාර්තාකරුවන් ලෙස ලේක්හවුස් එකට දැම්මා. මාධ්‍ය ක්ෂේත්‍රයේ පොරක් වෙන්න නම් ඔබට ලැබෙන තොරතුරු ඒකපාර්ශ්වික නම් එක් පැත්තක් නම් ඒවා ගන්න එපා. අනෙක් පැත්තෙනුත් අහන්න. කාලීන ප්‍රවෘත්ති ඕනතරම් මේ ප්‍රදේශවල තිබෙනවා. ඔබට ඒවා පළ කරන්න පුළුවන්. හැබැයි කොළඹ තිබෙන මාධ්‍ය ආයතනත් සාධාරණ වෙන්න ඕන. ප්‍රවෘත්ති කියන්නේ මන්ත්‍රීලා, ඇමැතිවරුන් කියන දේවල් විතරක් නෙවෙයි. ත්‍රිකුණාමලයේ සංවර්ධනය ගැන ලියන්න. සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණු වෙන එක ලියන්න ඕන නැද්ද? පරණ මිනිස්සු කන්නියා උණුදිය ළිං ගැන කියවන්න ආස නැද්ද? අග්බෝපුර මීකිරි කර්මාන්තය ගැන ලියන්න. බලයට ඇවිත් ඉන්න රජයක් රට වෙනස් කරන්න පුළුවන්. ඒවා සමාජගත කරන්න ඕන නැද්ද? හැබැයි වැරදි දේවල්වලට සමාවක් දෙන්න එපා. ආණ්ඩුවට සුදු හුනු ගාන්න එපා. විපක්ෂය මොන දේවල් කීවත් ඒවයේ පාට ගාන්න එපා. බාධාවකින් තොරව ඇත්ත ලියන්න අපි ලජ්ජා වෙන්න ඕන නැහැ. ඒ නිසා තමයි ඔබේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න 1981 වසරේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය පුවත්පත් කලාවේදි ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දුන්නේ. සමහරු කියනවා මාධ්‍ය හැඳුනුම්පත් අවශ්‍යයි කියලා .මතක තියාගන්න මේ මාධ්‍ය හැඳුනුම්පත ළමයෙක් පාසලට දාගන්න ටකරන් ටිකක් ගන්න භාවිතා කරන්න එපා. වර්තමානයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට සාධාරණ ගෙවීමක් ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ තමන්ගේ මෝටර් සයිකලයට තෙල් ටිකක් ගහගන්න තරම් මුදලක් ලැබෙන්නේ නැහැ. ඔබ ගොඩ නගාගන්නා සම්බන්ධකම්‍ සමඟම සැමවිටම සත්‍ය පමණක් ලියන්න. ඒ වගේම හැම පැත්තෙන්ම ආරක්ෂා වෙන්න“

මෙහිදි අදහස් දැක්වූ තිනකරන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දේවදාසන් සෙන්දිල්වේලවර් මහතා මෙසේ පැවසීය.

‘‘කොළඹ කේන්ද්‍රිය මාධ්‍ය ආයතන ඔබ යවන ප්‍රවෘත්තිය සංස්කරණය කරනවා. නමුත් කොළඹ ඉන්න මාධ්‍යවේදින්ට වඩා ඔබ උසස් තැනක ඉන්නේ. මොකද ඔබ හැමතැනම යන කෙනෙක් නිසා. ත්‍රිකුණාමලයේ හිටියත් යාපනයේ හිටියත් ප්‍රාදේශීය මාධ්‍යවේදින් වුණාම මාධ්‍ය හැඳුණුම්පතක් තියෙන්න ඕන. නැතිනම් ජනාධිපති රැස්වීම් අගමැතිගේ රැස්වීමක් ආවරණය කරන්න බැහැ. මාධ්‍යවේදියා යනු සත්‍ය සොයාගෙන යන කෙනෙක්. ඒ වගේ වෙලාවට වරදාන වරප්‍රසාදවලට යට වෙන්න එපා. දේශපාලකයන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල බලාපොරොත්තු ඉෂ්ට කරන්න මාධ්‍ය භාවිත කරන්න එපා. ඒක රාජ්‍ය මාධ්‍යයට විතරක් නොවෙයි පෞද්ගලික මාධ්‍ය ආයතනවලටත් පොදුයි. මගේ පුවත්පත් කලාවට අවුරුදු තිස්පහක් වෙනවා. එහි අමිහිරි ඉතිහාසයක් තියෙනවා. 1989 තිනකරන් පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකරු, ක්‍රීඩා වාර්තාකරු ලෙස අවුරුදු 15ක් වැඩ කරලා ති‍ෙයනවා. මාධ්‍ය ක්ෂේත්‍රය කියන්නේ අර්බුදවලට මුහුණ දෙන තැනක්. අපහසවලට ලක් වෙන්න පුළුවන්. බොරු චෝදනා එල්ල වෙන්න පුළුවන්.එල්.ටී.ටී.ඊ සාම සාකච්ඡා අවරණය කරන්න ගිය මම එම සාකච්ඡා බිඳ වැටුණට පස්සේ බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට මම ලක්වුණා. හතරවෙනි තට්ටුවට ගියා. හිරේ හිටියා. මේ විදියේ හැලහැප්පීම් එක්ක තමයි අපි කටයුතු කළේ”.

වැඩමුළුව ආරම්භ කරමින් පිළිගැනිමේ කථාව කළ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර මහතා මෙසේ පැවසීය.

‘‘සාමාන්‍ය රාජ්‍ය ආයතනවල තිබෙන දැක්ම හා මෙහෙවර එක ලඟින් යන දෙකක් වුණත් අපේ ආයතනයේ දැක්ම හා මෙහෙවර පරස්පරයි. මාධ්‍ය නිදහස අවශ්‍යයි. නමුත් ඒ නිදහස අයුතු ලෙස භාවිත කරන්න හොඳ නැහැ. මාධ්‍ය නිදහස භුක්ති විඳින්න කිසිම කෙනෙකුට බාධාවක් නොවිය යුතුයි. මාධ්‍යවේදියා කියන්නේ මිනිසුන්ට ඉහළින් ඉන්න කෙනෙක් නෙවෙයි. සමහර මාධ්‍යවේදින් හිතනවා සාමාන්‍ය මිනිසුන්ට නැති වරප්‍රසාද ඒ අයට තියනවා කියලා.‘‘

අරමුණු හා පරමාර්ථ පැහැදිලි කරමින් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජි. මහේෂ් හේමන්ත කුමාර මහතා මෙසේ පැවසීය.

‘‘මම මාධ්‍ය භූමිකාව කොටස් දෙකකට දකිනවා. මේ ප්‍රදේශයේ දිසාපතිවරයා විදිහට රාජ්‍යයට වගකිව යුතුයි. ඒ නිසා මේ ප්‍රදේශයේ සිදුවන සෑම දෙයක් සම්බන්ධයෙන්ම මට වගකීමක් තියෙනවා. දෙවන භූමිකාව වෙන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට තොරතුරු දැනගැනීමට මට ඇති අයිතියයි.‘‘

ස්තූති කතාව කළ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සහකාර පුවත්පත් කොමසාරිස් ඉරංග සුරෝචන මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගගතලාව එක්සත් මාධ්‍ය සංසදය දිසාපති හරහා කළ ඉල්ලීමක් අනුව මෙම වැඩසටහන පැවැත්වූ බවත් දිවයින පුරා පැවැත්වු වැඩසටහන් මාලාවේ දෙවැන්න මෙය බවත් මේ සඳහා පිටුපස සිට විශාල කාර්යයක් කළ ශ්‍රී ලංකා පුවත්පත් කාර්ය මණ්ඩලයට ස්තූති වන්ත වන බවත් පැවසීය.

ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT