Home » පූමා ආයතනයේ කෝටි 1050ක් කෝලි ප්‍රතික්ෂේප කරයි

පූමා ආයතනයේ කෝටි 1050ක් කෝලි ප්‍රතික්ෂේප කරයි

by sachintha
May 19, 2025 1:10 am 0 comment

ඉන්දීය ක්‍රිකට් තරුව විරාත් කෝලි ජනප්‍රිය ක්‍රීඩා ඇඳුම් හා පාවහන් නිෂ්පාදන සමාගමක් වන පූමා ආයතනය ලබාදීමට යෝජනා කළ ඉන්දීය රුපියල් කෝටි 300ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1050ක) පමණ දැවැන්ත මුදලක් ප්‍රතික්ෂේප කරයි.

කෝලි වසර 2017දී පූමා සමඟ ඇති කරගත් ඉන්දීය රුපියල් කෝටි 77.3ක (ශ්‍රී ලංකා රුපියල් 271) කොන්ත්‍රාත්තුව මේ වසරේ අවසන් වන හෙයින් නව කොන්ත්‍රාත් ගිවිසුම යෝජනා කළද කෝලිගේ එකඟතාව හිමිව නැත.

ඔහු පූමා ඇඳුම් සන්නාමය සමඟ ඇති කර ගත් ගිවිසුම අලුත් නොකොට ඔහු විසින්ම ආයෝජනය කළ ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් නාමයක් වූ ‘One8’ විශාල පරිමාණයකින් ව්‍යාප්ත කිරීමට අදහස්කොට ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත පවසයි. ඔහු නව ක්‍රීඩා ඇඳුම් සමාගමක් වන ‘ඇජිලිටස්’ ආයතනයේද මුදල් ආයෝජනය කර ඇති අතර, ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ පූමා හිටපු කළමනාකාර අධ්‍යක්ෂ අභිෂේක් ගංගුලිගේ ඉල්ලීම අනුව එය සිදුව තිබේ.

කෝලිගේ දැන් ප්‍රධාන ඉලක්කය වන්නේ ඔහුගේම සමාගමක් වන ‘One8’ සන්නාමය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමයි. ඔහුගේ වෙළඳ නාමය වන ‘One8’, පූමා සමඟ හවුල්කාරිත්වයෙන් දියත් කරන ලද අතර ‘පූමා One8’ ලේබලය යටතේ ක්‍රීඩා ඇඳුම් සහ පාවහන් අලෙවිකොට ඉන්දීය රුපියල් කෝටි 250ක් පමණ උපයා ගත්තේය. කෝලිගේ තීරණයට හේතු වී ඇත්තේ ව්‍යාපාරවල වැඩි පාලනයක්, වැඩි වාසියක් සහ වැඩි අනන්‍යතාවයක් සඳහා මතුව ඇති ආශාව බව පෙන්වා දේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT