රස්තාගැන දැනගමු | දිනමිණ

රස්තාගැන දැනගමු

බුදුන්වහන්සේ ජේසුස් වහන්සේ මොහොමඩ් නබිතුමා හා තවත් ශාස්තෘවරුන්ගෙන් ලෝවැසියන් දයාව ප්‍රේමය උගත්තා පමණක් නොව උන්වහන්සේලා හුදෙක් දේශකයාණන්පමණක් නොවන බවද, ලොවට සත්‍යය එඩිතරව ප්‍රකාශ කොට යථාර්ථවාදීන් ලෙස ලෝකයේ නොමැකෙන සටහන් ශ්‍රේෂ්ඨ චරිත ලෙසද ලොව පවතින තුරා බැබලෙනු ඇත.

එබඳු ශාස්තෘවරුන් පිළිබඳව ඉතා මැනැවින් සාකච්ඡාකිරීමට වැදගත් වෙයි. “රස්තා” යනු මැයෙන් ලියැවෙන මෙම පෙළගැස්මට පුරෝකථනයක් ලෙස දක්වමි. ලෝකයේ පහළ වූ එබඳු ශ්‍රේෂ්ඨ මිනිසෙකි.

රස්තා හෙවත් රාස්තෆාරි නම් මොහු අපට හමුවන තවත් සුප්‍රසිද්ධ චරිතයකි. එතුමා තම රටට අවංක හා නිවැරැදි නායකත්වයකින් යුතු පාලනයක් ලබා දීමට වහා පියවර ගණනාවක් ගත්තෙකි. ඔහුගේ මූලික ඉගැන්වීමක් වන්නේ ලෝකය සමඟ ගැටීමට නම් ලෝකය පිළිබඳ දැනුම තමා සතුව නොඅඩුව තිබිය යුතු බවයි.

‘රස්තා’ යන වචනය වර්තමානයේ ඉතා වේගයෙන් පැතිරගොස් අධ්‍යාපනයක් හරිහැටි නොලද ආගම ධර්මය පිළිබඳව හදවතින් මතුවන ඇල්මක් නොමැති සමාජයට ආදරයක් සිත් කොනකවත් නැති පුද්ගලයන්හට මනාසේ ගැලපෙන හා උචිත වචනයක් සේ භාවිතයට ගැනුණු ප්‍රදේශයන් කිහිපයකට පමණක් සීමාවූ අරුත්සුන් වචනයක් බවට ද පත්වී තිබේ.

රටගැන මනා ආදරයකින් හා ආගම දහම පිළිබඳව හැඟීමෙන් බුද්ධිය උසස් තලයකට ගෙන ආ නිර්භීත ගුණගරුක පුද්ගලයෙක් රටේ ආණ්ඩුකාරයාවීමට සුදුසු බව නොරහසක් නොවේ. නූතන ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වඩා හාත්පසින් වෙනස් වුවද එවකට ඉතියෝපියාවේ ඔතො‍ර්ඩොක් හා කෝප්ටික් පල්ලිය ඇසුරේ මනාලෙස හැදී වැඩුණු මොහුගේ සම්පූර්ණ නම තසාරි මැකොනොන්ය. ඔහු උපන්නේ 1892 වසරේ ජූලි මස 23 දායි. මිනිලික්ගේ ආණ්ඩුකාරයකු වන රාස් මැකොනෙන් ගේ පුත් ලෙසයි ඔහුගේ මව ‘ගල්ලා’ නම් ජනතාවට අයත් වොයෙසාරෝ යෂිම බෙට්ය.

බයිබලයේ සඳහන් පරිදි අවුරුදු 3000ක් පැරණි සොලමන් රජු පරම්පරාව පෙරලා රාජ්‍ය අත්පත් කරගැනී‍ෙම් චේතනාවෙන් ‘ලිජ්ජියාසු’ නම් අයෙක් මුස්ලිම් බලවතුන්ගේද සහය ලබාගෙන, මුස්ලිම් ආගමටද හැරී කටයුතු කරන අවදියක් විය. මේ වනවිට තෆාරිගේ වයස අවුරුදු 25ක් විය.

ඒ වනවිටත් රාස් මැකොනෙන් තම පුතුවූ තෆාරිට හොඳ උසස් අධ්‍යාපනයක් ලබාදීමෙන් පමණක් මිස සොලමන් රජු පරම්පරාවේ අයෙකු වීමට අණ්ඩුකාර ධූරයට සුදුසුකමක් නොවන බව තේරුම්ගෙන ඉතා වංශවත් අය ඇසුරුකිරීමට හා බටහිර ආභාෂය ද අධ්‍යාපනයද ලබා දීමට මහත් උනන්දුවෙන් කටයුතු කළේය. විශාල වියදම් දරා ඔහු තෆාරිට ප්‍රංශයේ මහා ආචාර්යවරයෙකු වූ විටලත් ඇසුරේ හා ධර්මදූත සේවයේ යෙදී සිටි ඉතියෝපියාවේ අබ්බාසැමුවෙල් ගෙන්වා බටහිර අධ්‍යාපනයද ලබා දුන්නේය. ඉතා බලවත් කෙනෙක් වූ රාස් මැකොනෙන් නම් තෆාරිගේ පියා 1906දී මිය ගියේය.

පියාගේ බලවත්කම, තෆාරිගේ නිර්භීතකම, බටහිර අධ්‍යාපනය දේශපාලන දැනුම, එඩිතරකම හා ගෞරවනීය බව උදෙසා තෆාරිට ‘රාස්’ යන ගෞරව නාමය ලැබිණ. ඒ අනුව ඔහු ‘රාස් තෆාරි’ නම්විය. ඔහුගේ දක්ෂතාවයන් ඉදිරියේ වියරුවෙන් සිටි “ටයිටු අධිරාජනිය” සහ ඇගේ දියණිය වන සවිඩ්‍රි බල ලෝභය නිසාම ‘රාස්තෆාරි’ මරණයට පත්කිරීම සඳහා සැලසුම් කළ බව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

ශක්තිමත් පාලනයක් සඳහා තුන්දහසක හමුදාවක් සදාගත් රාස්තෆාරිට අවංක සත්‍යවාදී මිනිසුන්ගේ ආශිර්වාදය ලැබිණි. බලයට බලකෑදර ලිජ්ජියානු අල්ලා සිරකොට ඔහුගේ දසදහකට අධික හමුදාවද අත්පත්කර ගැනීමට සමත් වූ රස්තා ඊට එරෙහිව ආ සියලුම සතුරු බලවේග දැඩිලෙස මර්දනය කළේය.

රාස් තෆාරි ගෞරවනීය ලෙසද අවංකවද තම දේශය පාලනය කළ අභීත නායකයෙකි. එනමුදු පදනමක් නොමැතිව රාස්තෆාරි යන නමෙන් කොටසක් භාවිතා කිරීමට ඇතැම් පිරිස් පුරුදුවී සිටීම කනගාටුවට කරුණකි. “අපි රස්තා” යැයි කියාගන්නා අය ඔවුන් රස්තියාදු කාරයින් හෝ ගණන්කාරයින් හෝ කියා ගන්නා අදහසක් තිබුණානම් එම මතය ‘රාස්තෆාරි’ යන උසස් නාමයට කරන නිගරුවකි.

ස්ටීවන් කුරුකුලසූරිය

නව අදහස දක්වන්න