වල් නාශක හා රසකාරකවලින් සිදුවන හානිය ගැන නීති සැකසීම් ඉක්මන් කළ යුතුයි | දිනමිණ

වල් නාශක හා රසකාරකවලින් සිදුවන හානිය ගැන නීති සැකසීම් ඉක්මන් කළ යුතුයි

චන්ද්‍රිකා පෙරේරා

රසායනික වල් නාශක හා කෘත්‍රිම රසකාරක මගින් සිදුවන හානිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන අතර ඒ සඳහා තහනම් කිරීම් හා නීති සැකසීම ඉක්මන් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති .

‍කොළඹ සෙමා ආයතනයේ ඉකුත් දා පැවැති විශේෂ හමුවට එක්වෙමින් රතන හිමියෝ එම අදහස් පළ කළහ.

එහිදී රතන හිමියෝ මෙසේ ද සඳහන් කළහ.

අපට ආහාර ඇබ්බැහියක් තිබෙනවා. ඒ අනුව තේ උත්තේජනයක්. මිරිස් පරිභෝජන රසකාරකයක්. මේ අනුව අපට රස සංස්කෘතියක් පවතිනවා. හුරු පුරුදු ඇබ්බැහියක්. ආහාර සංස්කෘතියේ තිබෙන්නේ අද කෘත්‍රිම රස මැවූ ඒවා. අරක්කු සිගරට් වැනි මත්ද්‍රව්‍යයත් නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා. මේවායින් හානි වීමයි ගැටලුව. රස හා ආහාර රටාව මානසික මෙන්ම වෙළෙඳ වුවමනාවක්.

ආහාර සංස්කෘතියේ වැඩි ලාබය ඊළඟ පරමාර්ථය. ඉක්මන් ලාබය සඳහා ක්ෂණිකව කරන කටයුතු .මේ අනුව ජාන වෙනස් කර,විකෘති කර ඉක්මනින් වර්ධනය කරවන කුකුළන් ආහාරයට ගන්නවා. මේ සියල්ල අහිතකර ආහාර. මේවා ශ්‍රි ලංකාවට අන්තර් ජාතිකව බැඳී ආ දේවල් . මේවා විකෘති කරද නැතිනම් ස්වභාවිකද කියා ලියැවෙන නීතියක් රටට අවශ්‍යයි.

එම්.එස්.ජී. (අජිනමොටෝ) සම්බන්ධයෙන්ද මෙවැනි නීති පැනවිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක ආධිපත්‍යයට යටත්ව ක්‍රියා නොකළ යුතුයි. සොයා බැලීම් පරීක්ෂණ සමඟ ලොව මානවයාට ලබාදෙන ආහාර සම්බන්ධයෙන් නිසි නීති රීති එමඟින් ගත යුතුයි.

එමෙන්ම තාක්ෂණය ආහාර නිෂ්පාදනය කෙරෙන කෘෂි යෙදවුම් පිළිබඳ හරි මතය කියන ආයතනයක් අවශ්‍යයි.

කෘත්‍රීම රසකාරක වගේම රවුන්ඩප් වැනි අහිතකර වල් නාශක නැවත ගෙන්වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද අපට ගැටලු මතුව තිබෙනවා. කඳුකර ජලයට එක්වන රසායනික ද්‍රව්‍ය මගින් මිනිස් සිරුරට වන හානිය ජලය උණුකර බිව්වට විසඳෙන්නේ නැති ගැටලුවක්.වැව් ගංගා ධාරා ජලය දූෂණය වෙලා. කැඩ්මියම් හා ආසනික් ද මෙවැනිම ගැටලු මතුකර තිබෙනවා.

එම්.එස්.ජී. අජිනමොටො වර්ගයේ රසකාරක තහනම් කිරීමට අප ක්‍රියාත්මක විය යුතුයි. දැනුවත් කිරීම හොඳයි. දැනුවත් කිරීම බලපෑමක් ලෙස ක්‍රියාත්මක වේවිද කියන එක ගැටලුවක්. මේ සම්බන්ධයෙන් දැවැන්ත බලපෑමක් සමාජයට කිරීම මගින් සමස්ත ජනතාවගෙන් සියයට පහක් සබුද්ධික වුණොත් අනෙක් 95% දැනුවත් කිරීමට හැකි වේවි.

වාණිජමය මස් පරිභෝජනයෙන් වෙන්කළ යුතුයි. මට කිව හැක්කේ සතුන් මැරීමෙන් වළකින්න කියලයි . මා සතුන් මරන්න එපා කිව්වත් මස් පරිභෝජනයට අවශ්‍ය ජනතාව අවම කරමින් නිරෝගිමත්ව සිටිමට නම් ජාන විකෘති කළ මස්වලින් වළකින්න කියා හෝ දැනුවත් කළ යුතුයි.

මුලින්ම අජිනමොටෝ තහනමට නිර්භීත තීන්දුවක් ගැනීම වැදගත්. අපේ රටේ වඳුරෝ ආහාරයට ගන්න ඕනෑම කොළයක් අපට කන්න පුළුවන්. චීනයේ උණ ගොබ පවා ආහාරයට ගන්නවා. අපේ රටට නිසි ආහාර සංස්කෘතියක් තිබෙනවා. නමුත් අජිනමොටෝ ගෘහස්ථ මට්ටමේ නොව මහා පරිමාණයෙන් පාවිච්චි වෙනවා. මේ සඳහා අජිනමොටෝ වර්ගයේ රසකාරක හඳුනා ගැනීමට පාරිභෝගිකයාට නිසි නිර්දේශයක් තිබිය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මේ සඳහා එක් නාමයක් ලබා දී ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළ යුතුයි. ඒ අනුව ජනතාව දැනුවත් කිරීමේ විධිමත් ප්‍රචාරණයක් කළ යුතු වෙනවා.

පූර්ණ වල් නාශක නතර කරන ලෙස කළ ඉල්ලීම මෙන් මේ සඳහා ද ජනමතයක් ඇති කිරීමටත් , සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ රෙගුලාසි සැකසීමත් කළ යුතුයි. රෝහල් හැදීම නොව රෝග නිවාරණයටයි මූලිකත්වය ලබා දිය යුත්තේ. ආහාර පාලන ඒකකය මගින් මෙයට අදාළ නීතියක් ස්ථාපිත කරන්න කියා අප ඉල්ලා සිටිය යුතුයි.

ආහාර සඳහා හෝමෝන යෙදූ හා නොයෙදූ කියා සඳහන් කරන්නට කියා නීති සැකසිය යුතුයි. හෝමෝන හා කෘත්‍රීම රසකාරක නිසා සමේ දීප්තිමත් බව අවම වෙනවා. සැප, බල, ආයු, වර්ණ, ප්‍රඥා සියල්ල නැතිවෙනවා. මේ ඛේදවාචකය ගැන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. දැනුවත් වීමට අනුව නීති පද්ධතියක් ද දැකසිය යුතුයි.

දේශීය ආයුර්වේද වෛද්‍ය ආචාර්ය රෝහණප්‍රිය සුසන්ත මහතා-

අපේ සංස්කෘතියේ එක්තරා රටාවකට සැකසුණු ආහාර කලාවක් තිබෙන්නේ. ආහාර සැකසීම ගෘහණියකගේ විද්‍යාත්මක ප්‍රවේශයක්. මෙය දේශීය ඥානය මතයි සැකසී තිබෙන්නේ. රසය, ගුණය, පණ, වර්ණය, ගන්ධ යන ගුණාත්මක පහ එක්වීමෙන් අපේ ආහාර සැකසෙන්නේ.

ප්‍රධාන වශයෙන් රස හයක් තිබෙනවා.

කටුක තිත්ත රසය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. තිප්පිලි, ඉඟුරු රසය මෙයට කියන රසය කුමක්ද කියා සොයා බලා තිබෙනවාද? කසාය කසට රස අපේ ආහාරයේ තිබිය යුතුම ඖෂධමය ගුණයක්.ජන සමාජයේ මුල් කාලීනව හැදුණේ බෝ වන රෝග .ඒවා පාලනය කළ හැකියි. නමුත් අද ගැටලුව බෝ නොවන රෝග.

මඳසරු බව කියන රෝගය දැන් ව්‍යසනයක් බවට පත්වෙලා. ඒ රෝගය ලොව බහුලව තිබෙන්නේ වයස අවුරුදු 35ට අඩු අයට කියා හඳුනාගෙන තිබෙනවා. මෙයට හේතුව කෘත්‍රිම රසකාරක. ආයුර්වේදයේ වෙදකමේ දී ගුණ 20ක් තිබෙනවා. ශරීරයේ පරිවර්තන වෙන්නේ මේ අනුව. පණ කියන්නේ පෝෂණය යන්නයි. සිරුරේ සප්ත ධාතුව පෝෂණය කළ යුතුයි. රසයේ සිට ශුක්‍ර දක්වා පෝෂණය විය යුතුයි. අද සියලු රෝගවලට හේතුව ආහාරයේ පණ, ගුණ හා රස නැතිකමයි.

ආහාරයක ආවේණික වර්ණයක් මෙන්ම ගණ්ධයක් පවා තිබෙනවා. මේ සියල්ලේම මිශ්‍රණය ඇඟට ගුණ ගෙන එන්නේ.

මීට අමතරව කල් තබා ගැනීමේ නවීණ ක්‍රමද අද භයානකයි. එදා කල් තබා ගත්තේ ස්වභාවික රසකාරක ලුණු ගොරක දමා. ඒ වගේම ආහාර සැකසීමේ දී අෂ්ඨ විධ නියමයක් තිබුණා. කාලය කෑමට ආහාර සැකසීමේ දී වැදගත් වුනා. ආහාර ගැනීමේ වේලාව වැදගත් වුණා.

ආහාර ස්වභාවය ලඝු එනම් සැහැල්ලු ආහාර හා ගුරු ( බර ආහාර) ලෙස වෙන් කර තිබුණා. මස්, මාළු පළා ලෙස වර්ග කර තිබුණා. මෙහිදී සංයෝගය වැදගත්. විරුද්ධ ආහාර එකට ගත්තේ නැහැ. උදාහරණ ලෙස මස් කිරි එකට ගන්න හොඳ නැති වුවත් අද මස් සමඟ කිරිත් ගන්නවා. ලුණු පොල්කට්ට පවා අද නැහැ. එයින් වුණේ ලුණුවල තිබෙන සිරුරට අහිතකර විෂ සහිත දේ පොල්කට්ට වටේ බැඳී හොඳ කොටස ඉතිරිවීමයි.

ආහාර උයා නැවත ශීතකරණයේ තබා නැවත රත්කර ආහාරයට ගැනීමත් විෂ සහිතයි. බඩගිනි නැතත් අද ආහාර ගන්නවා .නමුත් බඩගින්නටයි අප ආහාර ගත යුතු වන්නේ. මෙහිදී අපේ මානසික තත්ත්වය ද ඉතා වැදගත් වෙනවා. දිවට රස දැනීම ද ඉතා වැදගත් .

පරිසරවේදිනී කාංචනා වීරකෝන් මහත්මිය-

අවබෝධයෙන් යුතුව පරිභෝජනය කොතරම් වටිනවාද යන්න තේරුම්ගත යුතුවන්නේ බෝ නොවන රෝග සෑදීම වැඩිවීම දිනෙන් දින ඉහළ අගයක් ගන්නා බැවිනි. අධිපරිභෝජනය මගින් අප පරිසරය සූරාගෙන කෑමක් සිදුකරන්නේ. මේ නිසා පරිසරය විනාශය සිදුවෙනවා.

මේ ගැටලුවලට විසඳුම් ලෙස අවබෝධයෙන් යුතුව පරිභෝජනය කරන්නේ කෙසේ ද? ඒ සඳහා අනුගමනය කළ යුත්තේ කුමන ක්‍රමවේදයක්ද? යන්න හඳුනා ගැනීම වර්තමාන ජන සමාජයට ඉතා වැදගත් වෙනවා. ආහාර සඳහා යොදන කෘත්‍රිම රසකාරක අපට කොතරම් හානිකරද? මේ හානිකර රසකාරක අප දැන දැනම පරිභෝජනය කරනවා නම් කරන්න දෙයක් නැහැ. නමුත් බොහෝ පාරිභෝගිකයන් මෙය නොදැනයි කරන්නෙ. මේ රසකාරකවලට එක නාමයක් නැතිකම නිසා අපි හඳුනා නොගත්තට එහි ඇති ලේබල්වල මේ සම්බන්ධ තොරතුරු සඳහන් වෙනවා. මේ නිසා අපට මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් බැහැ. මේ නිසා දැනුම අපට ඉතාම වැදගත්.

වස විස නැති රටක් සඳහාත් අනාගත පරපුර නිරෝගිමත් කිරීම සඳහාත් දැන්වීම් කලාවට නීති රීති පැනවිය යුතුයි .ඒ වගේම ප්‍රමිතිගත කළ යුතුයි.

දරුවන්ගේ ක්‍රියාකාරීත්වයේ ක්ෂණික වෙනස්වීම් අද ඕනෑ තරම් අපි දකිනවා . මේ දේවල්වලට මේ ආහාර රටාව බලපෑ හැකියි. නමුත් මේ සම්බන්ධයෙන් තවමත් විධිමත් පරීක්ෂණය සිදුකර නැහැ.

එස්එස්ජී වගේ රසකාරකවලින් බුද්ධි වර්ධනය අඩුවීමක් වෙනවා. සමීක්ෂණයක් අනුව හෙළිවු දෙයක් ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරවල දරුවෝ බොහෝ විට කන්නේ රාත්‍රියට රසකාරක සහිත නූඩ්ල්ස්. ඒවායේ එම්එස් ජී අඩංගුයි . මේ ආහාර ගැනීම අපේ අනාගතයට එක්වන්නේ කුමන බුද්ධිමතුන්දැයි අපටම සිතන්නට අද සිදුව තිබෙනවා.

අපි නොදැනුවත්වම සබුද්ධික ජනතාව අපෙන් ඉවත් වෙමින් සිටිනවා. නොපෙනෙන පිළිකාවක් වගේ පවතින මේ කෘත්‍රිම රසකාරක සහිත ආහාර රටාව වෙනස් කළ යුතුයි. ඒ සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි. පැකට් කළ ආහාර රටාවෙන් වෙන් වුණේ නැත්නම් රෝග පරිසරයෙන් ඈත් වීමට නොහැකියි.

අද දරුවන් වන පැළෑටි හඳුනන්නේ නැහැ. වල්පැළ කියා අපට හිතකර ආහාරයට සුදුසු මෙන්ම ඖෂධ පැළෑටි විනාශ කරනවා. වල් පැළ කියා ස්වභාවික රසකාරක විනාශ කරනවා. ඇඹුල් වැනි දේ දැන් නොහඳුනන තත්ත්වයට පත්වෙලා. මේ දැනුම ලබාදීමට පාසල් හා විශ්විද්‍යාල පද්ධතිය මේ සඳහා ක්‍රියාත්මක නොවුණොත් කවුද මෙය කරන්නේ.

මාධ්‍ය හරහා නිරෝගි ජනතාවක් බිහි කිරීමට නිසි නීති රීති මගින් හෝ ක්‍රියාකාරීත්වයක් සැකසිය යුතුයි. සංස්කෘතිය හරහා ආ හර පද්ධති සමඟ දැනුමද අප නැවත ක්‍රියාවට නැංවිය යුතුව තිබෙනවා. නිරෝගී සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් සඳහා නම් කෘත්‍රිම ආහාරවලින් තොර විය යුතුයි. 


අදහස් 1ක් ඇත

ane hamudiruwane , bana kiyanawata wada meka maha pinak!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...