කඳුළින් නැහැවුණු මීතොටමුල්ල | දිනමිණ

කඳුළින් නැහැවුණු මීතොටමුල්ල

මීතොටමුල්ල කුණු කන්දේ ඉතිහාසය වසර ගණනාවක ඈතට දිවයයි. මේ කුණු කන්ද පසුගිය 14දා සවස පුපුරායා‍මත් පළමු කුණු ට්‍රැක්ටරය එම භූමියට ගෙනැවිත් දැමීමත් අතර කාලපරාසය තුළ ආණ්ඩු ගණනාවක් මේ රට පාලනය කළේය. ඒ සෑම ආණ්ඩුවක්ම මේ කුණු ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා නොදී ඒ තුළින් දේශපාලන වාසි ගන්නට කටයුතු කළ බව මුළු රටම දනී. ජනතාවට මේ කුණු කන්ද මහා හිසරදයක් වුවද අවස්ථාවාදී දේශපාලනඥයන්ට මේ කන්ද පෙන්වා ඡන්දය ගන්නා නිධානයක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත. වසර ගණනාවක් පුරා මේ අහිංසක මිනිසුන්ට සුරංගනා කතා කියමින් ඡන්දය කොල්ලකාගෙන පැනගියා මිස කන්දේ කුණු ගොඩ දවසින් දවස මිනිස් ජීවිතද යටකරගෙන ඉහළට එසවෙන්නට විය. මේ ආණ්ඩුව කුණු කන්දට විසඳුම් ගෙන එන්නට මාන බලන මොහොතක වසර ගණනාවක් පුරා ඉහළට එසවූ කුණු කන්ද මහා ගිනි කන්දක් පුපුරායාමට පාරම්බාන්නා සේ නිහඬව සිට ඉකුත් 14දා මුළු රටම අවුරුදු සිරියෙන් ඇළලී සිටි මොහොතක පුපුරා ගියේය. මිලකළ නොහැකි අහිංසක මිනිස් ජීවිත මෙන්ම ගේදොර යානවාහන සියල්ල ද කුණු කන්දට වැළලී ගියේය. අවුරුදු සිරියෙන් රටම ඔදවැඩී සිටි මොහොතක රතිඤ්ඤා හඬින් රටම ගිගුම් දුන් මොහොතක සිදුවූ විපතින් සමස්ත ජනතාවම තුෂ්නීම්භූත වූහ. සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව සේම නිල්, කොළ, රතු පක්ෂ පාට නොබලා කුණු කන්ද පුපුරා ගියේ මහා ඛේදවාචකයක අමිහිරි මතක සටහන් පමණක් රටට ඉතිරි කරමිනි. කන්ද පෙන්නා ඡන්දය ගත් අවස්ථාවාදී දේශපාලනඥයිනි?. අමු අමුවේ මහපොළොවයට මිහිදන්වූ මිනිසුන්ගේ අ‍ඳෝනා හඬ යළි යළිත් මොරදී කියන්නේ කුමක්දැයි දැන්වත් සිහිබුද්ධියෙන් අසනු මැනවි. 


නව අදහස දක්වන්න