ආපසු හැරී බලන්න ජේසු ඔබ ළඟම සිටී | දිනමිණ

ආපසු හැරී බලන්න ජේසු ඔබ ළඟම සිටී

ජේසු තුමා සොයමින් අපි තව කොතෙක් දුර ඇවිදිමුද? එතුමා සොයා තව පළාත් කීයකට, රටවල් කීයකට යමුද? එහි වරදක් ඇතැයි මම නොකියමි. එහෙත් ජේසු සිටින්නේ අප සමීපයේම බව දන්නේ කීයෙන් කී දෙනාද? ජේසු අප හදවතේම සිටින බව දන්නේ කීයෙන් කීදෙනාද?

ඒ ගැන සිතන්නට වෙලාව පසු වී ඇතත් දැන් හෝ අප ඒ ගැන සිතිය යුතුය. අප හුස්ම ගන්නා හැම මොහොතකම ජේසු අප ළඟ සිටින බව මෙනෙහි කරන්නට අපට හැකි නම්, අප අතින් සිදුවන බොහෝ වැරැදි අඩුපාඩු සකසා ගැනීමට අපට පුළුවන. නොබෙල් ත්‍යාගය ලැබූ තෙරේසා මවුතුමියගෙන් නිවේදක තැන ඒ වේලාවෙහිදී ඇසූ ප්‍රශ්නයක්ද එතුමිය දුන් පිළිතුරක්ද මට මෙවේලෙහි සිහි වේ. නිවේදක තැන අසා සිටියේ ලෝකයට සාමය උදා කරලීම පිණිස කළ යුත්තේ කුමක්දැයි යන්නය.

එතුමිය පවසා සිටියේ මෙවැන්නකි. “ඔබ නිවෙසට ගිය පසු ඔබේ සහෝදරයාට ප්‍රේම කරන්නට පටන් ගන්න” යනුවෙනි. අද දවසේ අප ගමන් කරමින් සිටින්නේ මේ ප්‍රේමය පසෙක තබමින්ය. කුමක්දෝ සුවිසල් අරමුණක් අප හැල්මේ දුවන්නට සලස්වා ඇත‍. ඒ අරමුණ කුමක් වෙනුවෙන්ද යන්නවත් අපිම හරි හැටි නොදනිමු. එකී අරමුණෙන් තමාට හෝ ලෝකයට සිදුවන යහපත කුමක්ද යන්න ගැනවත් අපට නිනව්වක් නැත. එහෙත් අපි හතිලමින් කුමක්දෝ පසු පස දුවමින් සිටිමු.

මේ දිවිල්ල හෙවත් තරගය ඇතුළතදී අපෙන් ගිලිහෙමින් පවතින ප්‍රධානතම දේ වන්නේ මනුෂ්‍යත්වයයි. අපගේ උපකාර අවශ්‍ය කාටද? අපේ උපකාරවල ප්‍රමුඛතාව ලැබිය යුත්තේ කවුරුන්ද යන්න ගැන අපට නිනව්වක් නැත. අඩුම තරමේ දරුවන් වෙනුවෙන් යැයි පවසමින් වෙහෙසන අපි දරුවන්ට අවශ්‍ය මූලික දේවල් ගැන හෝ අවබෝධයක් නැතිව කටයුතු කරන්නෙමු. විටෙක තමන්ගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් ලෝකය නපුරෙන් පුරවන අපි, එකී නපුර පෙරළා අප වෙතත් අපේ දරුවන් වෙතත් එන බව නොදැන කටයුතු කරන ආකාරය විටෙක විස්මයජනකය.

අපි නිරන්තරයෙන් ජේසුට යාච්ඤා කරන්නෙමු. නොවරදවා ඉරුදින දේව මෙහෙයට සහභාගී වන්නෙමු. ජේසු සොයා වන්දනාවේ යමු. එහෙත් සිය සහෝදරයා සුවෙන්ද, සතුටින්ද බලන්නට සිහි වන්නේ කීයෙන් කී දෙනකුටද? සිය මවුපියන්ට කෘතගුණ සැලකීමට සිහිවන්නේ කීයෙන් කී දෙනාටද? සිය රැකියාවේ වගකීම් අවංක ලෙසත් පලදායී ලෙසත් ඉෂ්ට කරන්නේ කීයෙන් කී දෙනාද? ඒ තබා සිය දරුවන්ට, බිරියට හෝ සැමියාට සිය යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කරන්නට අප කැප වෙනවාද?

පසුගිය කාලයේ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන විට, අපි ඒ වෙනුවෙන් යාච්ඤා සෑදුවෙමු. දෙවියන්ට කන්නලව් කෙරුවෙමු. එහෙත් අනෙකා වෙනුවෙන් තබා තමන් වෙනුවෙන්වත් පරිසරය සුද්ධ පවිත්‍ර කරන්නට පෙළඹුණේ කීයෙන් කී දෙනාද? තමන්ගේ කසළ හැකි නම් අනෙකාගේ භූමියට විසි කරන්නට අප දරන උත්සාහය අපගේ කිතුනුකමට කෙතරම් උචිතද?

මේ සියල්ල දෙස බලා සිටින්නේ ජේසුතුමාය. අප ජේසුතුමාට කරන ආදරය සැබෑවක් වන්නේ, උන්වහන්සේගේ ධර්මයෙහි අප හැසිරෙන්නේ නම් පමණි. එසේ නොවී අප කුමක් කළද ජේසු තුමා අප ගැන සතුටු වන්නේ නැත‍. අපගේ අසල්වැසියාද අප නියම කතෝලිකයකු බව වටහා ගන්නේ අප විසින් කරනු ලබන ක්‍රියාවන්ගෙනි. එබැවින් අප කරන කියන දෑ පිළිබඳ මුලින්ම අවධානයෙන් පසුවිය යුත්තේ අපමය‍. අද දවසේ කිතුනුවකුට ලෝකය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් ගොන්නකි. ඒ ගැන අවබෝධයෙන් ජේසුගේ වදන් තුළ ප්‍රායෝගික වීම අද දවසේ කිතුනුවාට ඇති අභියෝගයකි. ඒ අභියෝගය ජය ගැනීම සැබෑ කිතුනුවකුට අපහසු කාර්යයක් නොවේ. ජේසු තුමා අප ළඟම බව සිහි තබා ගැනීම ඊට මහා පිටිවහලක්ද වනු ඇත.

 

සුමේධා නවරත්න

නව අදහස දක්වන්න