තාජුඩීන් ඝාතනය තොරතුරු රැසක් එළියට | දිනමිණ

තාජුඩීන් ඝාතනය තොරතුරු රැසක් එළියට

විජයානි එදිරිසිංහ

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලීසිය මේ වන විට මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලට අනුව එම ඝාතන සැළසුම සහ එම සැළසුම සිදු කළ පුද්ගලයන් සහ එම ඝාතනය පිටුපස සිටියේ කවුද යන්න සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර තරාතිරම නොබලා එම අපරාධයට සම්බන්ධ සෑම සියලු දෙනාම අත් අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ වනවිට රහස් පොලිසිය එ‍සේ හෙළි කරගත් තොරතුරු පුළුල් විමර්ශණයකට ලක් කරමින් තිබේ.

රහස් පොලිසිය මෙසේ හෙළිකර ගෙන ඇති සියලු පරීක්ෂණවල තොරතුරු සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද දැනුවත් කර තිබේ.

රහස් පොලිසිය මෙසේ හෙළි කරගත් රහස්‍ය තොරතුරු අධිකරණයට දැනුම් දි අධිකරණයේ අවසරය මත අදාළ සැකකටයුතු පිරිස නීතිය ඉදිරියට ඉදිරිපත් කෙරෙන බවද තවදුරටත් පැවසේ.

මේ අපරාධය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් වසීම් තාජුඩීන් ගේ ඥාතින් සැකකරන පුද්ගලයන්, ඊ‍ට අනුබල දුන්නේ යැයි සැකකරන පුද්ගලයන්, එම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව සිටියේ යැයි සැකකරන අය, වසීම් තාජුඩීන් සමග හිතවත්ව සිටියේ යැයි කියන පිරිස, ඔහුගේ සමීපතවම ආශ්‍රය කළ පිරිස ඇතුළු විශාල පිරිසකගෙන් මේ සම්බන්ධව ප්‍රකාශ ලබා ගෙන තිබේ.

ඒ අනුව මේ අපරාධයට සැක කරන පුද්ගලයන් පිළිබඳ රහස් පොලිසිය මේ වන විට ස්ථිර නිගමනයකට එළැඹෙමින් සිටින බවත් ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට වැඩි කාලයක් ගත නොවන බවත් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මිට වසර කිහිපයකට පෙර නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදි ඔහුගේ මෝටර් රථය තුළ ඝාතනය කර පුළුස්සා අමානුෂික ලෙස ඝාතනයට ලක් කර තිබුණි.

ඔහු අනතුරකට ලක්වී මිය ගොස් ඇති බව එවකට පැවැති පොලිස් පරීක්ෂණවලින් පෙන්නුම් කර තිබුණත් පසුව මෑතක රහස් පොලීසිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ වසීම් තාජුඩීන් ඝාතනය කර ඇති බවයි.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ ඝාතනය පිටුපස හැව්ලොක් රගර් පිටිය 99 අවුරුද්දකට බදු දීමේ සැළසුමක් ඇතුළු තවත් හේතු කිහිපයක් තිබූ බවටද සැක කෙරෙන තොරතුරු ලැබී ඇත. රහස් පොලීසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරයි. 

නව අදහස දක්වන්න