සූර්ය බල කාර් රේස් | දිනමිණ

සූර්ය බල කාර් රේස්

මංජුලා විජයරත්න

ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ ධාවන තරග අප කාටත් අරුමයක් හෝ අමුත්තක් හෝ නොවේ. එවැනි ධාවන තරග අතර ඉතා කලාතුරකින් අපට අසන්නට, දකින්නට ලැබෙන මෝටර් රථ ධාවන තරගත් තිබේ. මේ තරගය නම් කර තිබෙන්නේ “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්” හෙවත් “බ්‍රිජ්ස්ටෝන් වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්” යන නමිනි. “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්” මෝටර් රථ ධාවන තරගය, සෙසු මෝටර් රථ ධාවන තරගවලින් වෙනස් වන්නේ එහි ධාවනය කෙරෙන සියලුම මෝටර් රථ සූර්යය බලයෙන් ධාවනය වන තාක්ෂණය සහිත ඒවා වීම නිසයි. තිස් වසරක අතීතයකට හිමිකම් කියන මේ මෝටර් රථ ධාවන තරගය ආරම්භ වුණේ 1987 වසරේදීය. එතැන් පටන් විටින් විට මේ මෝටර් රථ ධාවන තරගය පැවැත්විණ. එය මෙවර පැවැත්වෙන්නේ 14වන වරටයි. වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ් - 2017 තරගය ආරම්භ වූයේ පසුගිය 8 වැනිදාය.

වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ් හෙවත් බ්‍රිජ්ස්ටෝන් වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ් මෝටර් රථ ධාවන තරගයට කවදටත් සත්කාරකත්වය සැපයුවේ ඔස්ට්‍රේලියාවය. මුළුමනින්ම සූර්යය බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ පමණක් ඇතුළත් ධාවන තරගයක් පැවැත්වීමෙහි අරමුණ සූර්යය බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමයි. පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වා දීම එහි මූලික හරය වේ.

සහභාගීත්වය

මෙම තරගයට සහභාගී වන කණ්ඩායම් ප්‍රධාන කොට්ඨාස දෙකකට වෙන් කරන්නට පුළුවන. එක කොටසක් වන්නේ ලෝක ප්‍රකට වාහන නිෂ්පාදන සමාගම්ය. මේ සමාගම් සූර්යය බලයෙන් ධාවනය වන මෝටර් රථ සම්බන්ධ අත්හදා බැලීම්වලට විශේෂ තැනක් දෙන බව රහසක් නොවේ. එනිසා තමන් නිර්මාණය කළ සූර්යය බලයෙන් ධාවනය වන නව පන්නයේ මෝටර් රථ “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්” වෙත ඉදිරිපත් කරන්නට එම සමාගම් පසුබට නොවීම සුලභ දෙයකි. “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්”තරගාවලියට තියුණු තරගයක් දෙන අනෙක් කණ්ඩායම, සූර්යය බලයෙන් ධාවනය වන මෝටර් රථ සම්බන්ධ පර්යේෂණ කටයුතුවල නියැලෙන විශ්වවිද්‍යාල පර්යේෂකයන්ය. මේ දෙපිරිසෙන් වඩාත් ඉදිරියෙන් සිටින්නේ කව්දැයි කියා කියන්නට පුළුවන්කමක් නැත. ඇතැම් වර්ෂවල ප්‍රකට සමාගම් මෝටර් රථ ධාවන තරගයෙන් මුල් තැනට පත්ව තිබේ. තවත් අවස්ථාවලදී ඒ තැන හිමිව තිබෙන්නේ විශ්වවිද්‍යාල පර්යේෂකයන්ටයි. මෙවර පැවැත්වෙන ධාවන තරගයට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 30ක් බව දැක්වේ. ඒ අතර අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, චිලී, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, මැලේසියාව, බෙල්ජියම, ස්වීඩනය, ඉරාණය, දකුණු කොරියාව, ඉන්දියාව, හොංකොං, දකුණු අප්‍රිකාව, පෝලන්තය, තායිලන්තය, තුර්කිය, කැනඩාව, තායිවානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල කණ්ඩායම් කැපී පෙනෙයි. කෙසේ වුවත් සහභාගී වූ ඇතැම් කණ්ඩායම්වලට සාර්ථක තරග ආරම්භයක් ලබා ගන්නට නොහැකි විය. ඒ අතර ඇඩිලේඩ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම, ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලීය කණ්ඩායම සහ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලීය කණ්ඩායම ද වූ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්”තරගාවලිය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඉතාමත් දුෂ්කර පෙදෙසක් ඇසුරු කරගනිමිනි. එය ගස් කොළන්වලින් තොර කාන්තාර පරිසරයකි. එවැනි පරිසර පද්ධති හරහා ගමන් කරන මෝටර් රථ සාමාන්‍ය වාහන ධාවනය වන මාර්ග පද්ධතිවලට පවා පසුව අවතීරණ කෙරේ. මෝටර් රථ ධාවනය කෙරෙන්නේ ඩාර්වින්හි සිට ඇඩිලේඩ් දක්වාය. නගර දෙක අතර දුර ප්‍රමාණය කිලෝමීටර 3022කි. මුල් කාලයේ පැවැත්වුණු තරගවලදී නම් මේ දුර ගමන් ගන්නට දින 20ක පමණ කාලයක් ගත විණ. නමුත් දැන් ඊට ගත වන්නේ එයට වඩා බෙහෙවින්ම අඩු කාලයකි. එයින් පැවසෙන්නේ අනෙකක් නොව සූර්යය බලයෙන් ධාවනය වන මෝටර් රථ කෙටි කාලයක් තුළ තාක්ෂණයෙන් ඉතා විශාල දියුණුවක් ලබා ඇති බවය.

තරගයේ නීති රීති

මෝටර් රථ ගමන් ගන්නා වේගය රඳා පවතින්නේ කාලගුණ තත්ත්වය සහ මෝටර් රථවලට යොදා ඇති බැටරිවල ධාරිතාව මතයි. ධාවන තරගය තුළ රැඳී සිටිය හැකි වන්නේ මෝටර් රථයේ බැටරි, ආරෝපිත තත්ත්වයට පත් කර ගැනීම කළහොත් පමණි. එය සිදු කරන්නට ඉඩ සැලසෙන්නේ මෝටර් රථය ධාවනය නොකෙරෙන දිනවල දිවා කාලයන්හිදීය. තරගය පැවැත්වෙන කාලය තුළදී සෑම දිනයකම පෙරවරු 8.00ට ධාවන කටයුතු ඇරඹේ. පස්වරු 5.00 වන තුරු තරගයට අදාළ ධාවන කටයුතු සිදු වේ. තරගය පැවැත්වෙන සමය තුළ මෝටර් රථ අලුත්වැඩියා කරගන්නට ඉඩ සැලසෙන්නේ නැත. කිසියම් නඩත්තු කටයුත්තක් වේ නම් අනිවාර්යයෙන්ම එය සිදු කර ගත හැකි වන්නේ දිනයට නියමිත ධාවන කටයුතු අවසන් කර මෝටර් රථ නවත්වා තබන අවස්ථාවන්හිදී පමණි. කෙසේ නමුත් තරගයෙන් තරගයට මේ නීති රීති යම් යම් වෙනස්කම්වලට භාජනය වන බවක් පෙනේ. තරග කොන්දේසි අනුව මෝටර් රථ නිෂ්පාදනය කරමින් තරගයට සහභාගීවන්නට මේ නිසා තරගකරුවන්ට සිදු වේ.

ධාවන තරගයේ ආරම්භය

මෝටර් රථ ධාවන තරගය අරම්භ කරන්නට මුල් වූයේ ඩෙන්මාර්ක ජාතික හැන්ස් තෝල්ස්ට්‍රප් නැමැත්තෙකු බව සටහන් වේ. “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්”මෝටර් රථ ධාවන තරගයට නිර්මාතෘත්වය දෙන්නට පළමුව හැන්ස් තෝල්ස්ට්‍රප් ප්‍රකටව සිටියේ අඩි 16ක් දිගැති විවෘත බෝට්ටුවක් ආධාරයෙන් ඔස්ට්‍රේලියා මහාද්වීපය වටා සංචාරය කළ පළමු පුද්ගලයා වශයෙනි. අනතුරුව හෙතෙම බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණේ විවිධ විධියේ වාහන ධාවන තරග ආරම්භ කළ නිර්මාතෘවරයකු ලෙසය. මේ වාහන ධාවන තරග ඔහු ආරම්භ කළේ විටෙක මෝටර් රථ යොදා ගනිමිනි. තවත් අවස්ථාවක ට්‍රක් රථ යොදා ගනිමිනි. කෙසේ නමුත් පිරිමැස්මෙන් ඉන්ධන දහනය කෙරෙන මෝටර් රථ හෝ ට්‍රක් රථ හෝ යොදාගෙන යටකී තරග ආරම්භ කරන්නට ඔහු වග බලාගෙන තිබුණි.

“ද ක්වයෙට් අචීවර්”හි ආරම්භය

ලෝකයට තිරසාර බලශක්ති ප්‍රභව අවශ්‍යය බව එක්දහස් නවසිය අසූ ගණන් අග භාගය වන විට හැන්ස් තේරුම් ගෙන සිටීම ඉතා වැදගත් කාරණයක් වූයේය. මේ සිතුවිල්ල පැන නැඟුණේ පොසිල ඉන්ධන සීමිත බවත්, එය කෙදිනක හෝ අවසන් විය හැකි බවත් හැන්ස් අවබෝධ කරගෙන සිටි බැවිනි. සූර්යය බලයෙන් ධාවනය වන මෝටර් රථ එකට එක්කර ධාවන තරගයක් ආරම්භ කිරීමෙන්, මෝටර් රථ ධාවනයට සූර්යය බලය යොදා ගැනීමට ඇති අවස්ථා පුළුල් කළ හැකි බව ඔහුට පෙනී ගියේය. හැන්ස් මේ සිතුවිල්ල ක්‍රියාත්මක කිරීම ඇරඹුවේ “ද ක්වයෙට් අචීවර්” යන නමින් නම් කෙරුණු මෝටර් රථ ධාවන තරගයක් 1982 වසරේදී ඇරඹීමත් සමඟය. “බී.පී සෝලාර් ට්‍රෙක්” වශයෙන් හැඳින්වුණේ ද එකී මෝටර් රථ ධාවන තරගයම බව සඳහන් වේ. ප්‍රකාශ වෝල්ටිය සූර්යය කෝෂවලින් ධාවනය කළ හැකි මෝටර් රථ පමණක් තරගයට සහභාගී කරවා ගැනීම හැන්ස් මුල සිටම බලාපොරොත්තු වුණු තත්ත්වයකි. එතුළ වඩාත් පුදුමයට කාරණය වූයේ , “ද ක්වයෙට් අචීවර්”පළමු මෝටර් රථ ධාවන තරගයට සූර්යය බලයෙන් ධාවනය වන එකම එක මෝටර් රථයක් පමණක් සහභාගී වීමය. සූර්යය බලයෙන් ධාවනය වන මෝටර් රථ එකල ඉතා අඩුවෙන් නිෂ්පාදනය වීම එයට හේතු විණ. සූර්යය බලයෙන් ධාවනය වුණු යට කී මෝටර් රථය ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වුණු එකකි. එය, “ද ක්වයෙට් අචීවර්” මෝටර් රථ ධාවන තරගය තුළ ධාවනය කෙරුණේ බ්‍රිටිෂ් පෙට්‍රොලියම් සමාගමේ අනුග්‍රහය ඇතිවය. තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ සිට නැගෙනහිර වෙරළ තීරය දක්වා දිවෙන මඟකය. තරගයට එක්කර තිබුණ එකම එක මෝටර් රථය ජනප්‍රිය කරන්නට හැන්ස් එදා පුදුමාකාර වෙහෙසක් ගත් බව සටහන් වේ. 1987 වසරේදී “වර්ල්ඩ් සොලාර් චැලේන්ජ්” මෝටර් රථ ධාවන තරගය ඇරඹෙන්නේට මාර්ගයක් වූයේ යට සඳහන් කළ “ද ක්වයෙට් අචීවර්” සූර්යය බල මෝටර් රථ ධාවන තරගයයි.

1987 වසරේදී ආරම්භ වුණු “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්” මෝටර් රථ ධාවන තරගය 1999 වසර දක්වා පැවැත්වුණේ තෙවසරකට වරක් වශයෙනි. 1999 වසරෙන් පසුව එය සෑම දෙවසරකට වරක් පැවැත්වෙන තරගයක් බවට පරිවර්තනය කෙරිණ. “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්” මෝටර් රථ ධාවන තරගයේ සිව් වන තරගය පැවැත්වීමෙන් අනතුරුව හැන්ස් මේ තරගයේ අයිතිය දකුණු දිග ඕස්ට්‍රේලියා ප්‍රාන්ත බළධාරීන්ට විකුණා දැමුවේය. එතැන් පටන් තරගය පැවැත්වීමේ නායකත්වය ගත්තේ ක්‍රිස් සෙල්වුඩ් නැමැත්තෙකි. එකී නව පරිසරය යටතේ අවසන් වරටය “වර්ල්ඩ් සෝලාර් චැලේන්ජ්” තරගාවලියක් පැවැත්වුණේ 2015 වසරේදීය.

නව අදහස දක්වන්න