පවට ළැදි අය සෑම මොහොතක්ම විඳවනවා | දිනමිණ

පවට ළැදි අය සෑම මොහොතක්ම විඳවනවා

රාස්සගල චන්දකිත්ති හිමි

බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වූ අපේ පැරණි ජනයා ‘හිරි - ඔතප්’ නම් වූ උතුම් ගුණාත්මක චර්යාව අනුව ජීවත් වූහ. එහෙත් වත්මන් සමාජය තුළ ‘හිරි-ඔතප්’ සැලකිල්ලට නොගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. එය නැවත නිවැරැදි කරගෙන යහපත් පුද්ගලයන් පිරිසක් සමාජගත කරන ආකාරය පිළිබඳ අද ධර්ම සභාවේදී පැහැදිලි කර දෙන්නේ ඇහැලියගොඩ, ගැටහැත්ත, බෝපැත්ත ශ්‍රී බෝධි නිකේතනාරාමාධිපති, පූජ්‍ය රාස්සගල චන්දකිත්ති හිමිය.

 ස්වාමීන් වහන්ස! බුදු දහමට අනුව ‘හිරි-ඔතප්’ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

බුද්ධ දේශනාවට අනුව ‘හිරි’ යනුවෙන් හඳුන්වන්නේ පවට ඇති ලැජ්ජාව. ‘ඔතප්’ යනුවෙන් හඳුන්වන්නේ පවට ඇති බය යි. ඒ අනුව මිනිසෙක් තුළ පවට ලැජ්ජාව හා බය තිබිය යුතුයි කියා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා.

එසේනම් පවට ‘ලැජ්ජාව හා බය’ ඇති කරගත යුත්තේ ඇයි?

පව කියන්නෙ බුදු දහමට අනුව නොකළ යුතු දෙය යි. පන්සිල් පද පහ තුළ තිබෙන්නෙ කෙනෙකු අත් හැරිය යුතු ක්‍රියාවන්. ඒවා කඩ කරන තැනැත්තා යහපත් පුද්ගලයකු බවට පත්වෙන්නේ නැහැ. එවැනි අය මෙලොව හා පර‍ෙලාව දුගතිගත වෙනවා. දුගතිගත වෙන තැනැත්තාගේ ජීවිතයට කිසිදා සැනසීමක් උදාවෙන්නේ නැහැ. ඔවුන් මෙලොව පරලොව දෙකෙහිම තැවෙනවා. එවැනි පුද්ගලයන් සමාජයේ අපකීර්තියට පත්වෙනවා. කෙනෙක් මනුලොව උපදින්නෙ සතුටින්, සැනසීමෙන් ජීවත් වෙන්න. ජීවිතය විඳින්න. ඒත් පවට ලැදි කෙනා සෑම මොහොතකම විඳවනවා. ජීවිතේ යථාර්ථය ඒක නෙවෙයි. ඒ නිසා සෑම දෙනාම පවට බය වෙන්න ඕනෑ. පව් කරන්න ලැජ්ජා වෙන්න ඕන.

‘පව’‍ට ලැජ්ජාව, බය නැති පුද්ගලයාගේ ජීවිතය ගෙවී යන්නේ කුමන ආකාරයට ද?

අඥානයන්ගෙ මූලික ලක්ෂණයක් තමයි අයහපත් දේ කරන්න ලැජ්ජාව හා බය නැති වීම. අපි මෙහෙම හිතමු! බොරු කිව්වොත් මොකද වෙන්නෙ. කවදාහරි ඇත්ත එළිවෙනවා. එතකොට අර බොරුව කියපු තැනැත්තා සමාජයේ අපහාසයට උපහාසයට පත් වෙනවා නේද? එවැනි පුද්ගලයන් ගැන සමාජය විශ්වාසය තබනවද? සමාජයේ අවිශ්වාසයට ලක්වූ කෙනෙකුට පිළිගැනීමක් තිබෙනවද? ඒ වගේම තමයි අනිකුත් වැරැදි සිදු කරන තැනැත්තන්ටත් සමාජයෙන් ලැබෙන්නේ සුබවාදී ප්‍රතිඵල නෙවෙයි. යහපත් පිළිගැනීමක් නොවෙයි. සමාජය විසින් එවැනි පුද්ගලයන් පිළිකුලට ලක් කරනවා. අවසානයේ ඒ අය තමන් ගැනම කලකිරීමට පත් වෙනවා. ඇතැම් වෙලාවට සිය දිවි හානි කරගන්නෙත් එවැනි තැනැත්තන් තමයි. ඥානවන්තයා පවට ලැජ්ජා වෙනවා වගේම බය වෙනව කියා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙනවා. ජීවිතය සුවසේ ගෙවන්න නම් පවට බය වෙන්න ඕන. ලැජ්ජා වෙන්න ඕන.

කෙනෙකු ජීවිත කාලයේ නොකළ යුතු දේ වශයෙන් හඳුන්වන්නේ පන්සිල් පද පහම පමණක් ද?

ඔව්! පන්සිල් පද පහට අමතරව නොකළ යුතු දේ බොහෝ තිබෙනවා. ඒවායින් ප්‍රධාන වශයෙන් ගත්තොත්, මවුපිය වැඩිහිටියන් නොසලකා හැරීම, සත්ව හිංසනය, පුද්ගල හිංසනය, තවෙකෙකුට අපහාස, උපහාස, නින්දා, අභූත චෝදනා, චරිත ඝාතන සිදුකිරීම වගේම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මෝහය ඇති කර ගැනීම. වෙනත් පුද්ගලයන් අපහසුතාවට පත් වන ආකාරයට අසම්මත වචන පැවසීම හා අසම්මත දේ සිදු කිරීම.

මානයෙන් උඩඟු කමින් කටයුතු කිරීම වගේ දේවල් මිනිසාගේ පරිහානියට හේතු වෙනවා. මෙවැනි දේවල් සිදුකරන තැනැත්තන් දුෂ්චරිතයෙන් යුක්ත අය විදියට බුදු දහමේ හඳුන්වනවා. ඔවුන් කිසිවෙක් යහපත් අය වෙන්නෙ නැහැ. ඒ වගේම ඔවුන්ට යහපතක් වෙන්නෙත් නැහැ.

‘හිරි - ඔතප්’ රකින පුද්ගලයා වෙත සමාජය දක්වන්නේ කෙබඳු ප්‍රතික්‍රියාවක් ද?

බුදු දහමට අනුව සැබෑ සිල්වත් පුද්ගලයන් වශයෙන් හඳුන්වන්නේ එවැනි අයයි. ඔවුන් සෑම විටම සමාජයට දක්වන්නේ ආදර්ශයක්ම පමණයි. ඒ නිසා සමාජය ඔවුන් යහපත් පිළිගැනීමකට ලක් කරනවා. ගරු බුහුමන් දක්වනවා. උත්තම ගණයේ පුද්ගලයන් වශයෙන් කීර්තිය ලබනවා. ඒ නිසාම එවැනි අය සැබවින්ම ජීවිතයට සතුට, සැනසීම ළඟාකර ගන්නවා. ඔවුන් ජීවිතය විඳිනවා. කිසි විටකත් අසහනයට, කලකිරීමට පත් නොවී පවින් ඈත් වී කුසලයේ පිහිටා මෙලොව හා පරලොව දියුණුවට වැඩ කර ගන්නවා.

එවැනි ගුණ යහපත් පුද්ගලයන් වෙතින් සමාජයට වෙන මෙහෙවර කුමක්ද?

ඒ වගේ තැනැත්තන් සමාජගත වීමට පෙර පවුලක් වටා ඒකරාශී වෙනවා. එවිට එම පවුල සාර්ථක පවුලක් වශයෙන් සමාජය පිළිගන්නවා. ඒ නිසාම ඔවුන්ට සමාජයේ නිසි තැන ලැබෙනවා. සමාජය තුළ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා වෙනවා. එවැනි පුද්ගලයන් ඇසුරට පත්වන පිරිස ඔවුන් අනුගමනය කර යහපත් පුද්ගලයන් බවට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් යහපත් පිරිසක් අතරට මැදි වූ ගිරා පෝතක කතාව ගන්න පුළුවන්. සිල්වත්, ගුණවත් අය තුළින් සමාජයට හානියක් සිදු වෙන්නෙ නැහැ. යහපතක්ම පමණයි සිදු වෙන්නෙ.

‘හිරි-ඔතප්’ ආරක්ෂා කිරීම සමාජ ගත කළ යුත්තේ කුමන ආකාරයට ද?

මෙය කුඩා දරුවාගෙන් ආරම්භ කරන්න ඕන. මෝරපු අත්තක් නවනවට වඩා නොමේරූ අත්තක් අවශ්‍ය ආකාරයට නැවීම පහසුයි. ඒ නිසා කුඩා දරුවාට ‘පව’ කියන්නේ මොකක්ද . එයින් සිදුවන හානිය මොන වගේද කියල තේරුම් කර දෙන්න ඕනෑ. ඔවුන් පවට බය කරන්න ඕන. පව් කිරීමට ලැජ්ජාව අැති කරන්න ඕන. කෙනෙකුගේ ජීවිතය පරිහානියට පත්වන ආකාරයත්, සැපවත් වන ආකාරයත් වටහා දෙන්න ඕනෑ. ඥානවන්ත වැඩිහිටියන්ගේ යුතුකම තමයි අනාගතයට යහපත් දරු පරපුරක් දායාද කිරීම.

එයින් අදහස් කරන්නේ දරුවන්ට අධ්‍යාපනය පමණක් දීම ප්‍රමාණවත් නැහැ කියන එකද?

ඔව්! දුක් මහන්සිවෙලා ලබා දෙන අධ්‍යාපනයේ වටිනාකම සම්පූර්ණ වෙන්නේ දරුවා ආධ්‍යාත්මිකවත් වර්ධනය වුණොත් පමණයි. කොපමණ විභාග ජය ගත්තත් වැඩක් නැහැ. ගුණ යහපත්කම නැත්නම්. එවැනි දරුවන් තුළින් පරාර්ථකාමීත්වය දකින්න බැහැ. එහෙම වුණාම ඔවුන්ගෙන් සමාජයට මෙහෙයක් ලැබෙන්නෙ නැහැ.

ඒ නිසා අපි පළමුවෙන්ම කරන්න ඕන දරුවාට හොඳ නරක කියා දෙන එකයි. හොඳ නරක වෙන් වෙන්ව හඳුනා ගන්නා දරුවා පවට බය වෙනවා. පව් කරල වැඩිහිටියන්ට, සමාජයට මූණ දෙන්න ලැජ්ජා වෙනවා. එයින් දරුවගෙ අනාගතයත්, රටේ අනාගතයත් සාර්ථක වෙනවා. ‘හිරි-ඔතප්’ රැකීම පුද්ගල දියුණුවට වගේම සමාජයේ, රටේ දියුණුවටත් බලපාන බව අමතක නොකළ යුතු කාරණයක්.

සටහන
නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න