අළු මත මල් පිපෙන හි‍රෝෂිමාව | දිනමිණ

අළු මත මල් පිපෙන හි‍රෝෂිමාව

චම්පිකා දීපානි රණසිංහ

සීතල උඳුවප් මාසයේ දෙසවන් සීනු නදින් නැළවෙන්නේ සාමයේ පණිවුඩය හදවතට තුරුලු කරමිනි. සාමයේ අගය වඩාත් මිනිසාට වටහා දෙන්නේ යුද්ධයේ කුරිරු මතක සටහන්ය. මිනිසා මිනිසාට එරෙහි අවි ඔසවා ගැනීමේ දරුණුම පල විපාක භුක්ති වින්දේ ජපානයේ හිරෝෂිමාවයි. හිරෝෂිමාවේ සාම අනුස්මරණ උද්‍යානය සිහිගන්වන්නේ යුද්ධයෙන් දැවී අළුවුණු නගරය සාමයේ අළු මතින් නැඟී සිටි අරුමය යි.

හිරෝෂිමාව සාම අනුස්මරණ උද්‍යානයේ පොකුණුවල ජලය නොපෙනෙන තරමට නෙළුම් පිපී ඇත. දසත පැතිරෙන සීනු නාදය විනාශකාරී යුද්ධය විශ්ව ශබ්දකෝෂයෙන් ඉවත් කළ යුතු බව ලොවට හඬ ගා කියයි.

ජපානය මල් වලින් බොහෝ දේ සංකේතවත් කරන රටකි. ජපන් දේශය පුරාම පිපුණු නෙළුම් මත සිටින බුද්ධ රූප දැකිය හැකිය . මඩේ පිපී මඩ නොතැවරී පිපෙන නෙළුම් මලින් පාපයෙන් පිරි ලොවක පාපයේ නොඇලී නැඟී සිටි අසමසම බුද්ධ චරිතය නිරූපණය වේ. එහෙත් හිරෝෂිමාවේ සාම අනුස්මරණ උද්‍යානය ඊට අමතර පණිවුඩයක් ලොවට ගෙන එයි. යුද්ධයේ අළු මතින් ගොඩ නැඟුණු පුනරුදය එම පණිවුඩයයි.

1945 අගෝස්තුවේ, දෙවැනි ලෝක යුද්ධය අවසානයේ අමෙරිකානු හමුදාව හිරෝෂිමාවට හෙළූ පරමාණු බෝම්බයෙන් දහස් ගණන් ජපන් ජාතිකයන් මිය ගියේ හිරෝෂිමාව දැවුණු මුඩු බිමක් බවට පත්කරමිනි.

හිරෝෂිමා ජනගහනයෙන් අඩකට වඩා 140,000ක් පමණ බෝම්බයෙන් මිය ගිය බවට වාර්තා වී ඇත. ක්ෂණිකව මිය ගිය අයසේම විකිරණවලින් හා පිලිස්සීමෙන් මිය ගිය ගණනද ඊට ඇතුළත් ය .

එම මුඩු බිම ගැන මෑන් හැට්න් ව්‍යාපෘතියේ විද්‍යාඥ ආචාර්ය හැරල්ඩ් ජේකොබ්සන්ගේ වචනයෙන්ම පැවසුවොත් වසර හැත්තෑවක් යනතුරු ඒ බිමේ කිසිවකුටත් ජීවත් විය නොහැකිය. තණ කොළ ගසක් තරම්වත් ශාකයක් වැවෙන්නේ ද නැත. එහෙත් ජපනුන් හපනුන් බවට ඔහුට අමතක වූවාසේය.

1945 සිසිරයේදී දැවුණු බිමේ පැළෑටි රෝපණය වන්නට පටන් ගත්තේය. ඕලියැන්ඩර්, කැම්පර්ගස් ඊළඟ ග්‍රීෂ්මයේදී දලුලන්නටවූයේ අකලට වට මහා වර්ෂාවක්සේය. එම වෘක්ෂයන් වසර සිය ගණනක් ඉපැරැණිය. තුරු ලතා ප්‍රාණවත් වීම සමඟ ජනතාව ගේ හදවත්හි යුද්ධයෙන් පෑරුණු තුවාල ද සුවවීමට පටන් ගත්තේය. පසුව ඕලියැන්ඩර් සහ කැම්පර් මල් හිරෝෂිමාවෙ නිල පුෂ්පයන් හා ශාක විය. ඒවා නගරයේ පුනරුදයේ ආශීර්වාද ලත් පුෂ්ප බවට පත්විය.

නගරයෙන් අතුරුදන්වුණු හරිත පැහැය දලුලන ශාක මඟින් ය ළිදු ලැබෙන්නට පටන් ගත්තේය. වකයාමේ ප්‍රාන්තයේ සොළොස් වැනි සියවසේ ඉදිවූ පන්සල එකමුතු බවේ ආත්මීය සංකේතය බව පත්විය. දැන් තැඹිලි පැහැ එම පන්සල් වහල වැසීයන තරමට මාපල් ගස් අහස උසට වැඩී ඇත. මාපල් ගස් පිරි මේ මිතාකි පන්සල හිරෝෂිමාවේ වඩාත් සුන්දරම දසුන් අතර එකක් බවට පත්වී තිබේ.

1949 අගෝස්තු 6 වැනිදා හරිත වර්ණයෙන් හැඩවුණු හිරෝෂිමාව අලුත් පරම්පරාවක හද ගැස්මත් සමඟ ජනාකීර්ණ විය. හිරෝෂිමා සාම අනුස්මරණ නගර ප්‍රතිඥාව බිහි විය.

හිරෝෂිමාවේ පළවූ සාම උත්සවය 1947 පැවැත්විණි. ශින්සෝ හමායි පළමුවැනි නගරාධිපති විය.

යුද්ධය නම් ත්‍රාසය මිහිතලයෙන් අතුගා දැමීමට සැබෑ සාමය ගොඩනඟා ගන්න එක්වෙමු.” නගරාධිපති පළමු සාම උළෙලේදී කියා සිටියේය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සාමය වෙනුවෙන් කැපවූ නගරයක් බිහි විය. අදට ද හිරෝෂිමා වැසියන්ගේ බලාපොරොත්තුව සාමය පමණ ය.

මොතොයාසු ගංඉවුරේ පහළට වන්නට ඇති වර්ග සැතැප්ම 12,0, 000ක් වූ භූමි භාගය යුද්ධයට පෙර වෙළෙඳ නගරයක් විය. එහෙත් දැන් එය සාමය හා සම්බන්ධ ස්මාරකවලින් පිරී ඇත. මෙය සාම අනුස්මරණ කෞතුකා ගාරය ලෙස හඳුන්වයි. ගං ඉවුරට විරුද්ධ පැත්තේ තිබූ කාර්මික ප්‍රවර්ධණ ශාලාව අද න්‍යෂ්ටික අවි තුරන් කිරීම ගැන දැනුවත් කරන ආයතනයකි.

බෝම්බ පිපිරී‍මෙන් පසු ඉතිරි වුණු නෂ්ටාවශේෂ අද නගරයේ ආත්මීය හදවතය. ‘ගෙන්බකු දොමු’ (අ බෝම්බ් ඩෝම්) ජපනුන් එය හඳුන්වන නමවේ. ඒවා සදාකාලික සාමයේ අගය ලොවට කියා පාන්නේය. මේ පෙදෙස1996 සිට යුනෙස්කෝ ලෝක උරුමයක්ද වේ. වසරකට හිරෝෂිමාවට ඇදී එන සංචාරකයන්ගේ ගණන මිලියනය ඉක්මවයි.

හිරෝෂිමාවේ වැලි කැටයකින් පවා රැව් පිළිරැව් දෙන්නේ ‘සාමය’ යන අකුරු තුනයි. දෙපස ගස් වැවුණු කි. මී. 4ක් දිගු මාවතේ ශෙලමය පහන් තිබේ .එම මාවතේම සාම අනුස්මරණ උද්‍යානයට විරුද්ධ පැත්තේ සාම ගේට්ටු ඇත .උස වීදුරු ආරුක්කු මත ‘සාමය’ යන වචනය භාෂා 49කින් විග්‍රහ කර තිබේ. කුලී බයිසිකල් හඳුන් වන්නේ ද සාම වාහන ලෙස ය. මොංගෝලියානු බෞද්ධයන් විසින් පරිත්‍යාග කරන ලද රිදීපැහැ දාගැබක් ද එම භූමි භාගයේ ඇත.

සාමය ගැන අන්තර් ජාතික තරග පැවැත්වීම ප්‍රාන්ත රජය විසින් වාර්ෂිකව සිදු කෙ‍රෙන්නකි. එසේ ලෝකයටම සාම පණිවුඩය ගෙනයාමේ අරමුණෙනි .

භාෂා 49න් සාමයේ පණිවුඩය විග්‍රහ කෙරෙන කුළුනු දහයක් හි‍ රෝෂිමාවේ නිර්මාණය කර තිබේ. එක ගේට්ටුවක් මීටර් නවයක් උස අතර පළල මීටර් 2.6ක් වේ. එසේ කර තිබෙන්නේ ප්‍රංශ කලාශිල්පී ක්ලේරා හෝල්ටර් සහ ගෘහ නිර්මාණ ශිල්පී ජින් මයිකල් විල් මෝට් විසිනි.

න්‍යෂ්ටික ප්‍රහාරයකින් පීඩාවට පත් ලොව ප්‍රථම නගරය ජපානයේ , හිරෝෂිමාවය. හිරෝෂිමා සාම අනුස්මරණ උද්‍යානය, එම භීතියෙන් ත්‍රස්තවූ ජපන් ගෘහ නිර්මාණ ශිල්පී කෙන්සෝ තන්ගේ නිර්මාණයකි. එම උද්‍යානයේ වාර්ෂිකව සාම අනුස්මරණ උත්සවය අගෝස්තු 6 වැනි දින පැවැත්වේ. යුද්ධය යන අකුරු හතරවත් නොදන්නා දරුවන්ද යුද්ධයේ සාපයට ගොදුරු වූයේ වෙනසක් නැතිවය. මේ සාම පාරාදීසයට යන්නකු ළමා සාම මූර්තිය නැරඹීමට ද අමතක නොකරන්නේය. මූර්තිය නිර්මාණය කර තිබෙන්නේ සැබෑවටම යුද්ධයෙන් මිය ගිය දැරියක මූර්තිමත් කරමිනි.

සදා‍කෝ සසකි. හිරෝෂිමාවට බෝම්බ හෙළද්දී දෙහැවිරිදි පොඩිත්තියකි. වයස එකොළහක් වනතුරුම සදාකෝ සාමාන්‍ය දැරියක ලෙස හැදුණා ය . ක්‍රීඩාවට ද ඉගෙනීමට ද එකලෙස දස්කම් පෑ ඇය හිටි හැටියේ ම රෝගී වූවාය. රෝගයට හේතු වූයේ න්‍යෂ්ටික බෝම්බයේ විකිරණවලට නිරාවරණ වීමය. සදාකෝ පමණක් නොව බොහෝ දරුවන් බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙසින් ලියුකේමියාවට ගොදුරු විය. පරමාණු බෝම්බයේ විසකරු බව නිසා ඇති වූ මාරාන්තික රෝගය ගැන කිසිත් නොදැන සිටි සදකෝ කඩදාසි කොකුන් දාහක් සෑදුවොත් සුවය ලබන බව විශ්වාස කළාය. අදටද ලෝකයේ සිව් දෙසින්ම නිර්මාණයවුණ කඩදාසි කොකුන් ළමා ප්‍රතිමාව අසළ දැකිය හැකිය.

මෙහි ඇතිත තානායමද බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූ ගොඩනැඟිල්ලකි. 1929 වර්ෂයේ ඉදිකළ තයිෂොයා කිමෝනෝ නම් ගොඩනැඟිල්ල මුලින්ම භාවිතා කර ඇත්තේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙසය. බෝම්බයෙන් ගොඩනැඟිල්ල විනාශ වූව ද එහි සේවය කළ තිස් හයක් පමණ ජීවිතක්ෂයට පත්වුවත් බිම් මහලේ සිටි හතළිස් හත් හැවිරිදි එයිසෝ නොමියුරා පමණක් දිවි බේරා ගත්තේ විකිරණවලින් ද ආරක්ෂාවෙමිනි. ඉන්ධන මධ්‍යස්ථානයේ දිවි බේරාගත් එකම තැනැත්තා නොමියුරාය.

ජීවිතයේ අසූව දශකය ගෙවාදමද්දී ඔහු 1982 මිය ගියේ යුද්ධයේ මතක සටහන් පිළිබඳ පිටු 800ක පොතක් ලියමිනි. නොමියුරා පොත ලිවීමට පටන් ගත්තේ වයස අවුරුදු හැත්තෑ දෙකේදීය. අද ඔහු බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන් ගොඩනැඟිල්ල තානායමකි.

සිහිවටන උද්‍යානයේ මැද බෝම්බයෙන් මිය ගිය අයගේ නම් සඳහන් කළ සෑදෑහැඩයේ කොන්ක්‍රීට් පලයකි.

අනුස්මරණ භූමියේ 1964 වසරේ සිට දැල්වෙන සාමයේ ගිනි දැල්ලක් තිබේ. එම ගිනිදැල්ල පෘථිවිතලය මුළුමනින්ම න්‍යෂ්ටික බෝම්බවලින් තොර ග්‍රහලෝකයක් වනතුරුම දැල්වීමට නියමිතය.

සාම උද්‍යානයේ සාමයේ සීනු තුනක් නාදවේ. කුඩාම සීනුව නාද වන්නේ සාම අනුස්මරණ උත්සවයේදී ය. ළමා සාම සිහිවටනය අසළ අනෙක් සීනුව ඇත. 1964 සැප්තැම්බරයේ ගොඩනඟන ලද සාම සීනුවේ මතුපිට ඇත්තේ ‍‍ලෝක සිතියමය. එහි ග්‍රීක, ජපන්, සංස්කෘත ශිලා ලිපි ඇත. මේ සීනුව ග්‍රීක තානාපති කාර්යාලය මඟින් පරිත්‍යාග කර ඇති අතර සොක්‍රටීස්ගේ දාර්ශනික කියමන් ද මීට අඩංගුය. න්‍යෂ්ටික ප්‍රහාරයෙන් මිය ගියේ ජපන් ජාතිකයන් පමණක් නොවේ. මිය ගිය සහ කිරණවලට පණ පිටින් ගොදුරු වූ පිරිස අතර කොරියානු ජාතිකයන්ද අඩුවශයෙන් 45,000 ක් වත් සිටි බව කියවේ. හිරෝෂිමා නාගසාකි න්‍යෂ්ටික ප්‍රහාරවලින් දිවි බේරා ගත් තුන් ලක්ෂයක් පමණ වූ කොරියානුවන් පසුව හිරෝෂිමාවට ගොස් තිබේ. කොරියාව 1910 සිට දෙවැනි ලෝක යුද්ධය නිමවන තුරුම එනම් 1945 වනතුරුම ජපන් රණසක යටතේ පාලනය විය.

මේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව කොරියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ගොඩනැඟිණී. මිය ගිය කොරියානුවන් වෙනුවෙන් ද මේ බිමේ සිහිවටන ඵලකයක් ඉදිවී ඇත.

නව අදහස දක්වන්න