සාරි හැඩ කරන ගලිගමුවේ සරසවි දියණි තිළිණි | දිනමිණ

සාරි හැඩ කරන ගලිගමුවේ සරසවි දියණි තිළිණි

කොතරම් හොඳින් අධ්‍යාපනය ලැබුව ද, වත්මන් සමාජය තුළ ඉගෙනුමට සරිලන රැකියා අවස්ථා විරල වේ. ශ්‍රී ලාංකේය සමාජය තුළ කොපමණ උපාධිධාරීන් පිරිසක් රැකියාවක් නොමැති වීම නිවෙසට වන්ව සිටිනු ඇත්ද? තමා උගත් දෙයින් මෙන් ම, තම හැකියාවෙන් සමාජයට සේවයක් කිරීමට ස්වෝත්සාහයෙන් නැගී සිටිනුයේ, ඒ අතරිනුත් ඉතා අල්ප පිරිසක් නොවේද?

ඇය නමින් තිලණි තිලකරත්නයි. සුන්දර සබරගමුව පළාතේ, කෑගලු දිස්ත්‍රික්කයට අයත් ගලිගමුව ප්‍ර‍දේශය ඇයගේ ගම් පියසයි. නිවෙසට වී සිටිමින් නාස්ති කර දැමීමට කාලයක් ඇය සතු නොවීය. ඇය, උසස් පෙළ කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හැදෑරීය. සරස්වතියගේ පිහිට බැල්ම ඇයට නිතැතින්ම හිමි විය. එනිසා ම ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබී ය. සිව් වසරක ජන මාධ්‍යවේදී විශේෂ උපාධිය හැදෑරූවාය.

"මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ පෞද්ගලික ආයතනයක සේවය කළත්, පසුව එයින් අයින් වෙලා, මගේ ම කියලා දෙයක් කරන්න ඕනැ කියලා හිතුවා. මං නිදහස අගයන කෙනෙක්. මං ඒ සඳහා තෝර ගත්තේ සාරි වැඩ දැමීම සහ කේක් නිර්මාණකරණය. මේ නිර්මාණවලට මා පෙලඹුවේ මගේ අම්මා. කුඩා කාලයේ ඉඳලාම අම්මා මට කියලා දුන්න දෙයක් තමයි, තමන්ගේ දේ තමන් ම කර ගන්න ඕනි කියන එක. ඒකට හේතුවක් වුණේ කුඩා කාලයෙ ඉඳන්ම අම්මා පුරුදුවෙලා ඉඳලා තියෙනවා තමන්ගේ වැඩ තනියම කර ගන්න. ඒ පුරුද්ද මටත් දෙන්න අම්මා උස්සාහ කළා.

මගේ ආච්චි අම්මා ජීවත් වෙලා ඉන්න කාලයේ, ආච්චි අම්මා කරපු මෝස්තර නිර්මාණ බොහොමයක් අපේ ගෙදර තිබුණා. ආච්චි මෝස්තර නිර්මාණ පොත් , විවිධ මෝස්තර හා නිර්මාණ සහිත තෙල් කඩදාසි පොත් කිහිපයක්ම හදලා තිබුණා. ඒ හැම දෙයක්ම මගේ ආච්චි අම්මා කළ නිර්මාණ. ඒවා දැක්කහම මට පුදුම කැමැත්තක් ඇතිවුණේ. ඒ වගේ නිරිමාණ කරන්න ඇත්තම් කියලා මටත් ආශාවක් ඇති වුණා . ඒ අශාව තමයි අද කරන නිර්මාණ ක්‍රියාවලියට මා පෙලඹුවේ. මගේ මේ නිර්මාණවල මුල්ම ආරම්භය තමයි කතිර මැස්මෙන් සිදු කරපු නිර්මාණය. එදා ඉඳන් අද දක්වා මං නොයෙක් නොයෙක් නිර්මාණ කරනවා. මං මේ කටයුත්තේ නිරත වීමෙන් ලබන්නේ විශාල සතුටක්."

මංගල සාරි වැඩ දමන ඇය, රුපියල් දස සහසේ සිට ඉහළ මුදලකට සාරි වැඩ දැමීම සිදු කරයි. මුදල් පසුපස හඹා නොයන ඇය, මනාලිය අග හිඟකම් ඇති අයෙක් වුවහොත්, මිල මුදල් පිළිබද තක්සේරුවක් නොකරයි. ඇය හැම මොහොතකම පවසන්නේ,නිර්මාණයක් අවසානයේ ලබන තෘප්තිය, මිල මුදල්වලින් ලබා ගත නොහැකි බවයි.

"එදිනෙදා භාවිතයට ගන්නා සාමාන්‍ය සාරි, උත්සව සාරි, දෙවැනි මනමාලියන්ට, මල් කුමාරියන්ට, මංගල සාරි වැඩ දැමීම කරනවා. ඒ වගේ නිර්මාණ බොහොමයක් කරලා තියෙනවා. මට ලැබෙන ඇනවුම් අනුව තමයි නිර්මාණ කරන්නේ. මගේ අම්මා, තාත්තා, මල්ලිලා වගේම, මගේ මහත්තයත් මේ හැම දේටම මට උදවු කරවා. මගේ මහත්තයා තමයි මේ දේවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනිම්වලදි මට සහයෝගය දෙන්නේ. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නේ පිටකොටුවෙන්. සාරියක් වැඩදැමීම ලේසි දෙයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒක සංකිර්ණ ක්‍රියාවලියක්. නිර්මාණයක් සිදු කරන්න කාලයක් අවශ්‍යයි.

ඊට අමතරව විවිධ කේක් වර්ග සඳහාත් මට ඇනවුම් ලැබෙනවා. උපන්දින කේක්, මංගල කේක්වලට හොඳ ඉල්ලුමක් ති‍යෙනවා. මේ හැම ඇනවුමකටම මම හොඳ ම නිර්මාණ කරන්නයි උත්සාහ කරන්නේ. මගේ උත්සාහය සාර්ථකයි කියලා දැනෙන්නේ, ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්කයි. ඒ වගේම දිනෙන් දින මට ලැබෙන ඇනවුම්වලින් මට හිතෙන්නේ මං පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කරනවා කියලයි.

සාරි වැඩදැමීම පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරා ඇති ඇය, සෑම දෙයක් පිළිබදවම හොඳ අධ්‍යයනයක් මෙන්ම උගැන්මක් ද තිබිය යුතුයි යන මතයේ සිටින්නීය. තම නිර්මාණ කටයුතු වලදී අලුත් නිර්මාණ කිරීමට සෑම විටම උත්සාහ දරයි. අන්තර්ජාලය හරහා අලුත් නිර්මාණ සොයා බලමින්, අලුත් දෙයක් කිරීමට ඈ උනන්දු වන්නීය.

"මං විවේකීව ඉන්න වෙලාවට කොස්ටිච් නිර්මාණ කරනවා. හැමෝම දැකලා තියෙන දේට එහා ගිය දෙයක් මං මගේ නිර්මාණවලින් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම, ඉස්සරහට මේ සාරි නිර්මාණකරණයට අමතරව, අනෙකුත් සියලු ඇඳුම් විලාසිතා නිර්මාණය කරන්නත් මං හිතාගෙන ඉන්නවා. දැන් මං කරන සාරි වැඩ දැමීම්වලට මගේ ළඟ ම ඥාති සහෝදරියන් දෙදෙනෙක් උදවු කරනවා. මං මේ දේ ගැන ඔවුන්ට උගන්වලා තියෙන්නේ. ඉදිරියේදී මගේ වැඩවලට සහයට දෙදෙනෙක් ගන්නයි හිතාගෙන ඉන්නේ. ආච්චි අම්මාගෙන් මට ලැබුණු මේ ශිල්පය, තවත් පරපුරකට දෙන්න මමත් ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. ඒ මඟින් තවත් කෙනකුට අදායමක් ලැබෙන නිසා,ඒක ලොකු පිනක්.කලාව කියන දෙය මගේ ඇඟේම තියෙන දෙයක් . මීට අමතරව තව දුරටත් ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රෙයෙන් ඉහළටම ඉගෙන ගන්න අදහස් කරගෙන ඉන්නවා."

"අද සමාජයේ මං වගේ ඉගෙන ගත්ත අය රැකියාවක් ලැබෙනකම් ගෙදරට වෙලා ඉන්නවා. ඇයි මේ තරම් අපි ඉගෙන ගත්තේ? එයින් ප්‍රතිඵලයක් නැහැ නේද? කියලා ඔවුන් බොහෝ වෙලාවට හිත් වේදනාවෙන් ඉන්නේ. අද මං කරන දේ සමාජය හෑල්ලුවට ලක් කරන්න පුළුවන්. ඒ දේ මට නොගැළපෙනවා කියලා කියන්න පුළුවන්. මං හිතන්නේ අපි හිතන ක්‍රමය තුළයි වැරැද්ද තියෙන්නේ. තමන්ට සතුටක් ලැබෙන දෙයක නියැළීමෙන්, කායිකව වගේම මානසිකවත් ලැබෙන්නේ ලොකු සතුටක්."

මහා පරිමාණයෙන් වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් නිර්මාණකරණයට ඇය කැමැත්තක් නොදක්වයි. නිදහස අගයන බොහෝ දෙනෙක්ට ඇගේ උත්සාහය හා උනන්දුව මහත් ආදර්ශයකි. බොහෝ බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකිව හිතින් ලතැවෙනු වෙනුවට, මානසික සහනය තමා කෙරේ ළඟා කර ගත හැකිවනුයේ, තමාටම වග ඇය අප වෙත පසක් කර ඇත. කොතෙකුත් උගෙන අන් අය වෙතම වහලුන් සේ වැඩ කරනු වෙනුවට, තම හැකියාව සහ දක්ෂතාව ඔස්සේ තවත් පිරිසකට පාර තනන දිරිය කතුන් සමාජයටත්, රටටත් වාසනාවක්ම ය.

හංසි වික්‍රමසිංහ 

නව අදහස දක්වන්න