නව වසරේ ස්මාර්ට් නිෂ්පාදන | දිනමිණ

නව වසරේ ස්මාර්ට් නිෂ්පාදන

2018 වසර සඳහා වූ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය ජනවාරි 9 වැනිදා ඇමරිකාවේ ලාස් වේගාස්වලදී ඇරඹිණ. මෙම අවස්ථාවේදී ලොව විශාල සමාගම් මෙන්ම නව නිපැයුම් වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර සැම්සන්ග් සමාගම සතුව ද අනාගත තාක්ෂණය වෙනුවෙන් තබන්නට යන යෝධ පියවර පිළිබඳ කරුණු හෙළි කරනු ලැබුවා.

’ද වෝල්’ රූපවාහිනිය

OLED තාක්ෂණය දුරකතනවල බෙහෙවින් භාවිත කළ සැම්සුන්ග් සමාගම දැන් ඔවුන්ගේ microLED නමැති නව තිර තාක්ෂණය භාවිත කරමින් LED රූපවාහිනියක් හඳුන්වා දී තිබෙනවා. මයික්‍රෝ කිව්වාට ඔවුන්ම කියන විධියට සිනමා තිර තාක්ෂණය යොදා ගෙන තිබෙන්නේ ලොකු වැඩක් කරන්නටයි. එය සිනමා තිරයක්ම තරම් විකර්ණයෙන් අඟල් 146ක විශාලත්වයක් ඇති ‘ද වෝල්’ නමැති ස්මාර්ට් ටීවී එකක්. අපි කඩෙන් ටීවී එකක් ගෙනෙද්දී එහි ප්‍රමාණය අපිට ලබා ගන්නට වෙන්නේ නිෂ්පාදකයා විසින් දෙන ලද ප්‍රමාණයකටයි. නමුත් මෙය කැබලි එකතු කරමින් ඔබට ඕනෑ තරමට සකසා ගත හැකි අපූරු ටීවී එකක්. මෙතෙක් කල් තිබූ CRT,LCD තාක්ෂණයන් එහි පැනලය මත යැපුණු නමුත් LED තාක්ෂණයේදී තිබෙන්නේ එකිනෙකින් ස්වායත්ත ක්‍රියාකාරීත්වයක්. මේ නිසා ටීවි ගොඩක් ගෙනැවිත් එකක් හදාගන්නවා වගේ දෙයක් තමයි මෙහිදී සිදු වන්නේ. සංගීත සංදර්ශන ආදියේදී යොදන තිරවල පවා මෙම ආකාරයේ සැකැස්මකුයි තිබෙන්නේ. නමුත් මෙම රූපවාහිනියේ ඇති තාක්ෂණය ඊට වඩා දියුණුයි. කොහොම නමුත් මේ දැවැන්ත තිරය ගෙදර ගෙන එන්නට ට්‍රැක්ටරයක් අවශ්‍ය වන්නේ නම් නැහැ.

‘ද වෝල්’ ලෙස හඳුන්වා ඇති මෙය ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ කතා මාලාවේ තිබූ හිම තාප්පය සිහි කරවනවා. ඔවුන් මේ ප්‍රමාණය එම රූපවාහිනියට ලබා දී තිබෙන්නේ සම්මත සීලිම් මට්ටම සලකමින් වන අතර මෙය නිවසක සැකසූ විට මුළු බිත්තියම ආවරණය කරමින් එය සකස් වන ආකාරයටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ. තිර දීප්තිය සහ රූපවල ඉහළ ගුණාත්මක බවක් ඇති මේ රූපවාහිනිය එතැනට පැමිණ සිටි බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා ගත්තා.

තුනී ස්පීකරයක්

ඉස්සර කාලේ රූපවාහිනී යන්ත්‍ර බිත්තිය මත රැඳවූවාම අඩි ගණනක් පසුපසට ඉඩ ඉතුරු වුණත් අනාගතේ ඒවා බිත්තියෙන් ඉදිරියට ඇත්තේ ඉතාම කුඩා පරතරයක්. මේවාට දැන් තිබෙන අඩි ගණනක පළලැති ස්පීකර් පද්ධති හරියන්නේත් නැහැ. ඒවාටත් ඒ ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ම තිබෙන තුනී ඒවා අවශ්‍ය වෙනවා. මෙන්න මේකට විසඳුමක් වශයෙන් NW700 නමැති 53.5mm තරම් තුනී චැනල් 3.1ක ශබ්ද හැකියාවෙන් යුත් ස්පීකර පද්ධතියක් හඳුන්වා දෙනු ලැබුවා. මෙය රූපවාහිනියට පහතින් හෝ ස්වාධීන භාවිතයට ඔබට කැමති ස්ථානයක වැඩි ඉඩ වැයවීමකින් තොරව රඳවා ගත හැකි අතර එය සාමාන්‍ය සබ්වූෆරයක් මෙන්ම ක්‍රියාත්මක වෙනවා. මෙහි ඩිජිටල් සංඥා විශ්ලේෂකයට, අපරූපණ අවලංගු කිරීමේ (distortion canceling) හැකියාව තිබෙන නිසා බේස් ශබ්ද වඩාත් හොඳින් ලබා දීමට හැකියාව ලැබෙනවා.

පණ්ඩිත හිත මිතුරු ශීතකරණය

සැම්සුන්ග් සමාගමේ ෆැමිලි හබ් ස්මාර්ට් ශීතකරණය මේ වසරේ තවත් අලුත් වෙලා. එය පසුගිය වසරවලදී ලබා ගත් විශාල ස්මාර්ට් දුරකතනයක් දොරේ ඇලෙව්වාක් මෙන් පෙනුම තවමත් පවත්වාගෙන ඇති බව පෙනෙන්නට තිබෙන බව අඩි දෙකක තිරයෙන් පෙනී යන අතර එහි හැකියාවන් මේ වසරේ තවත් සිත් ගන්නා සුළුව තිබෙනවා. මෙතෙක් කල් බිහි වූ ස්මාර්ට් ශීතකරණවල අභ්‍යන්තරයේ තිබෙන දේවල්වල ප්‍රමාණයන් පිළිබඳ දැනුම් දීමේ හැකියාව තිබුණේ ඒවා බහාලන විට සහ නැවත එළියට ගනිද්දී අප හස්තීයව එහි සටහන් කළ යුතු වූ නිසායි. නමුත් මේ ශීතකරණය සතු ප්‍රබල කැමරාවලට ඔබේ අතේ තිබෙන දේවල් හඳුනාගත හැකි නිසා එළවළුවක් වැනි දෙයක් ඇතුළත් කරද්දී සහ පිටතට ගනිද්දී ස්වයංක්‍රීයව සටහන් තැබීමට සහ යාවත්කාලීන කිරීමේ හැකියාව තිබෙනවා. ඔබ එළවළුවක්, මස් වැනි යමක් අතට අරගත්තාට පස්සේ ඒකෙන් අද හදන්නේ මොනවාද කියලා කල්පනා වුණේ නැත්නම් ඒ ගැන ශීතකරණයෙන් විමසන්නට පුළුවන්.

සැම්සුන්ග්හි පෞද්ගලික සහායකයා වන බික්ස්බි මෙයට ඇතුළත් කර තිබෙන නිසා ඔබට සැකසිය හැක්කේ මොනවා දැයි විස්තර කොට කෑම වට්ටෝරුවක් ලබා දෙන්නට ඊට හැකියාව තිබෙනවා. ශීතකරණයේ තිබෙන තිරය නිසා උයන අතරතුරේම යූටියුබ් එකෙන් ඉවුම් පිහුම් වීඩියෝවක් බලන්නට වගේම බික්ස්බිගේ සහායෙන් එදිනෙදා පුවත් උදෙන්ම දැනගන්නටත් අවස්ථාව තිබෙනවා. මෙය සතු මීල් ප්ලෑනර් එකට ඔබේ නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන්ට ගැලපෙන පරිදි ආහාර යෝජනා ඉදිරිපත් කරන්නටත් පුළුවන්. සැම්සුන්ග් සමාගම ඉතා මෑතකදී AKG ශබ්ද තාක්ෂණ සමාගම අත්පත් කරගැනීමේ අතුරුඵලයක් ලෙස ශීතකරණයටත් ඉහළ මට්ටමේ ගුණාත්මක බවකින් යුතු ශබ්ද පද්ධතියක් තිබෙනවා. මේ නිසා උයන ගමන් ලොව හැමදේම දන්නා බික්ස්බි එක්ක කතා කරන අතරතුරේ අවශ්‍ය නම් පොඩි සාජ්ජයක් දාගෙන කම්මැලිකම නැති කරගන්නටත් පුළුවන්.

අලුත් එක්සිනෝස් ප්‍රොසෙසරය

කොළඹට කිරි ගමට කැකිරි වගේ සැම්සුන්ග් සමාගම තම සියලු ස්මාර්ට් දුරකතනවල ඇමරිකාවට ලබා දෙන වෙළුමේ යොදන්නේ ඔවුන්ගේම එක්සිනෝස් ප්‍රොසෙසරයයි. ඔවුන්ගේ නවතම Exynos 9 Series 9810 ප්‍රොසෙසරය මෙම අවස්ථාවේදී හඳුන්වාදෙනු ලැබූ අතර එහි ඡායාරූප පිළිබඳ බුද්ධිය, තනිව ඉගෙනිමේ කෘත්‍රීම බුද්ධිය මෙන්ම ඉහළ වේගයකින් යුත් 4G LTE මොඩමයක් අන්තර්ගත කොට ඇති අතර මෙය එයිට් කෝර් එකක්. එහි ඇති කෘත්‍රීම බුද්ධිමය හැකියාවේ අපූර්වත්වය මෙම අවස්ථාවේදී බෙහෙවින් ඇගැයීමට ලක් වූ අතර ඔවුන්ගේ ඉදිරි දුරකතන නිෂ්පාදනවලට මේ නැනෝමීටර 10ක දෙවන පරම්පරාවේ ප්‍රොසෙසරය අඩංගු කිරීමට නියමිතයි.

මෙවැනි අපූර්ව ඉදිරිපත් කිරීම් රැසක් වෙළෙඳපොළට හඳුන්වා දුන් සැම්සුන්ග් සමාගම 2018 වසරේ තාක්ෂණය පිළිබඳ නව සිහින සැබෑ කළ අතර ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විටත් ඔවුන්ගේ නිෂ්පාදනවලින් සියයට 90ක්ම අන්තර්ජාල පහසුකම ඇති ඒවා වන අතර 2020 වන විට සම්පූර්ණයෙන්ම එම තත්ත්වයට ළඟා වන අතර ඒවා තවත් ස්මාර්ට් කරන්නට ඔවුන්ගේ බික්ස්බි පෞද්ගලික සහායකයා ද සියල්ලටම ඇතුළත් කරන බවයි.

නව අදහස දක්වන්න