ජීවි­තයේ සතුට සදන නව මං පෙත්... | දිනමිණ

ජීවි­තයේ සතුට සදන නව මං පෙත්...

ලොරී සන්තෝස්

ලෝකයේ මිනිස් වාසය ඇරඹුණු කාලයේ පටන්ම සතුට හා ජීවිතාස්වාදය සෙවීමට මිනිසා පෙළඹුණු බව අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවේ. හැබැයි මිනිසා කෙමෙන් කෙමෙන් ශිෂ්ටාචාරයෙන් මෙන්ම දැනුමෙන්ද වැඩි දියුණු වන විට මේවා සෙවීමේ ක්‍රමවේදවල මුහුණුවරද වෙනස් වූ බව දකින්න පුළුවන්. පසු කාලයක විද්වතුන් විසින් සමාජ සංවර්ධනය, සමාජ පරිණාමය වැනි වචනවලින් හඳුන්වා දෙනු ලැබුවේ මේ වෙනස් වීමයි. මේ හේතුවෙන් සතුට සැනසිල්ල නැත්නම් ජීවිතාස්වාදය වනි දේ මානව ජීවිතය හා බැඳුණු එහෙමත් නැත්නම් මිනිස් දිවි පැවැත්මට නැතිවම බැරි අංගයන් බවට මේ වන විට පත්ව තිබෙන බවත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට පිළිගැනීමට සිදු වෙනවා.

මා මෙවර සටහන ලිවීම සඳහා මෙවන් ප්‍රවේශයක් ගත්තේ මානව ජීවිතය සඵල කරගැනීමෙහි ලා වැදගත් වන සාධක පිළිබඳව මෑතක කෙරුණු පර්යේෂණයක තොරතුරු දැනගන්නට ලැබුණු නිසයි. ලෝකය විද්‍යා තාක්ෂණයෙන් හිතාගන්නට බැරි තරම් වේගයෙන් ඉදිරියට යන මෙවන් යුගයක පවා නූතන මිනිසා තම ජීවිතවල ප්‍රමෝදය සෙවීමට භාවිත කරන දේවල ස්වරූපය එතරම් වේගයෙන් වෙනස් නොවීම එක්තරා ආකාරයක සරදම්කාරී දෙයක් හැටියට වුණත් කෙනකුට විග්‍රහ කරන්න පුළුවන්. මේ තත්ත්වය සමාජ විද්‍යාවේ හා මනෝ විද්‍යාවේ දෘෂ්ටිකෝණවලින් මිසක් විද්‍යාවේ හෝ තාක්ෂණයේ හෝ මිනුම් දඬුවලින් කිරා මැන බලන්න බැරි බවයි මෙවන් පර්යේෂණවල නියැළී සිටින විද්වතුන් පවසන්නේ.

මා ඉහත සඳහන් කළ නවතම පර්යේෂණය පවත්වා තිබන අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන ලොරී සන්තෝස් පවසන ආකාරයට නූතන මිනිසා සිය ජීවිතයේ බිඳවැටීම හෝ අසාර්ථකභාවය කරා ළං වන්නේ සිතේ සැනසීම පවත්වාගැනීමට අසමත් වීම නිසයි. කෙතරම් ආර්ථික හා සමාජයීය වශයෙන් ස්ථාවර වුණත් සිතේ සතුට හා සැනසීම රඳවා ගැනීමට කෙනෙක් අසමත් වුණොත් ඔහු හෝ ඇය මානසික හා කායික පසුබැසීමකට ලක් වන බවයි ඇය පෙන්වා දෙන්නේ. මෙහිදී ජීවිතාස්වාදය රැකගැනීමෙහිලා උපයෝගි කරගත හැකි ප්‍රමුඛතම කරුණු පහක් කෙරෙහි ඇය සමාජයේ අවධානය යොමු කර තිබෙනවා.

ලොරී සන්තෝස් යේල් විශ්වවිද්‍යාලයේ මනෝ හා ප්‍රජනන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක්. වසර 300කටත් වඩා පැරණි එම විශ්වවිද්‍යාලයේ එක පාඨමාලාවක් සඳහා වැඩිම සිසුන් ගණනක් බඳවාගැනීමේ වාර්තාව පිහිටුවා තිබෙන්නේද ඇයයි. සිසු සිසුවියන් 1200ක් වරකට ඇය යටතේ සිල්ප හැදෑරිමට ඉදිරිපත් වීමෙන් මෙය තහවුරු වෙනවා. එදිනෙදා ජීවිතය සඵල කරගැනීම සඳහා ධනාත්මක මනෝ විද්‍යා මූලධර්ම මත පදනම්ව ඇය සකසා ඇති පාඨමාලා නව පරපුර අතර කෙතරම් ජනප්‍රිය වී ඇතිදැයි කිවහොත් යේල් විශ්වවිද්‍යාලයේ වෙනත් කවර විෂයයක් සඳහාවත් එතරම් ඉල්ලුමක් ඇති වී නැතැයි පැවසෙනවා.

මහාචාර්ය ලොරීගේ ඉගැන්වීම් ක්‍රමවේදය අපට වඩාත් වැදගත් වන්නේ ඇය ඒ සඳහා පදනම් කරගන්නා මූලධර්ම ලාංකිකයන් වන අපටද ඉතා හුරුපුරුදු ඒවා වන නිසයි. වෙනත් විදිහකට කියනවා නම් ඇගේ ඉගැන්වීම් ක්‍රමවේදය ගොඩනැගී ඇත්තේ බුදු දහම ඇතුළු ආසියාතික දහම් ඇසුරුකරගෙනය කීවොත් වඩා නිවැරදියි. ඉතා සරල හා ප්‍රායෝගික ක්‍රමවේදයක් වන ඇගේ ඉගැන්වීම ඇය විස්තර කරන්නේ සංගීතය නැත්නම් ක්‍රීඩාව වැනි කුසලතාවක් වර්ධනය කරගැනීමේදී අනිවාර්යෙන්ම කෙරෙන අභ්‍යාස මාලාවක් බඳු කාර්යයක් බවයි. මේ සඳහා ඇය සරල අභ්‍යාස පහක් හඳුන්වා දී තිබෙනවා.

මේ අභ්‍යාස අතර ඇය මුල් තැන දී තිබෙන්නේ කෘතවේදිත්වයටයි. සතියක් පුරා සෑම දිනකම රාත්‍රියේ නින්දට යාමට පෙර කෘතඥතා ලේඛනයක් පිළියෙළ කරන ලෙස මහාචාර්යවරිය ඇගේ සිසුන්ට උපදෙස් දෙනවා. එදා දවස තුළ තමන්ට විවිධාකාරයෙන් උදව් උපකාර කළ එහෙමත් නැත්නම් තමාට සතුටින් සිටීමට සහාය වූ අය කෘතවේදිව මතකයට නඟාගැනීමේ මේ අභ්‍යාසය දිගටම අනුගමනය කරගෙන යන විට සිතට අමුතුම පහන් හැඟීමක් ඇති වී ජීවිතය ප්‍රමෝදයට පත් වන බව පර්යේෂණයට ලක් වූ සිසුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරවලින් තහවුරු වී ඇති බවයි ඇය පවසන්නේ.

දෙවනුවට ඇය යෝජනා කරන්නේ දිගු නින්දක් අභ්‍යාස කිරිමේ ක්‍රමවේදයයි. ආතතිය අඩු වි ධනාත්මක සිතිවිලි වර්ධනය වීමෙහිලා සැපවත් නින්දක් මගින් ලැබෙන පිටුවහලද ඇගේ පර්යේෂණයෙන් තහවුරු වි ඇති බවයි පැවසෙන්නේ. තෙවනුවට මහාචාර්යවරිය ඉදිරිපත් කරන්නේ අපට ඉතා හුරුපුරුදු බහුතරයක් බෞද්ධයන් මෙන්ම වෙනත් ජන කොටස් මගින්ද දැනටමත් අනුගමනය කරන්නා වූ අභ්‍යාසයක්. එය තමා භාවනාව. දවසකට විනාඩි 10ක කාලයක් ඒ සඳහා කැප කරන්න ඇය යෝජනා කරනවා. ඉන් සිතට හා ගතට ලැබෙන සහකය මිල කරන්න බැරි බවත් අන් අය තුළ තමන් කෙරෙහි ප්‍රසන්න බවක් ඇති කරවා ගැනීමට මෙමගින් මඟ පෑදෙන බවත් මහැදුරුවරිය අවධාරණය කරනවා.

පවුලේ සාමාජිකයන් සමඟ උපරිම වශයෙන් කාලය ගත කිරීමට පුරුදු වන ලෙසයි හතරවන යෝජනාව මගින් ඉදිරිපත් කෙරෙන්නේ. මෙය බටහිර සමාජයට තරමක් ආගන්තුක වුණත් ආසියාතිකයන් වූ අපට නම් අරුමය දනවන යෝජනාවක් නෙවේ. මෙය අත්හදා බැලූ ඇගේ සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් මෙමගින් ඔවුන්ට විපුල ප‍්‍රයෝජන අත් වූ බව පවසා ඇතැයි මහාචාර්යවරිය පවසනවා. ඒත් එක්කම ඇය ගෙනෙන අනිත් යෝජනාවද ඉතා වැදගත්. මෙය බටහිර සමාජය පමණක් නොව අපේ සමාජ දේහයද වැළඳගෙන තිබෙන රෝගයකට ඇය ඉදිරිපත් කරන ප්‍රායෝගික ප්‍රතිකර්මයක්. ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාලාවල සැරිසැරීමට ගත කරන කාලය හැකි තරම් සීමා කරන ලෙසයි ඇය යෝජනා කරන්නේ. සමාජ ජාලා ඔස්සේ සැරිසැරීමෙන් ලැබෙන්නේ ව්‍යාජ සතුටක් බවට ඇගේ සමීක්ෂණවලින් මනාව තහවුරු වී ඇති බව ඇය පෙන්වා දෙනවා. සමාජ ජාලා ඇසුරු කරන අයට වඩා ඒවායින් දුරස්ව සිටින්නන් සතුටින් හා සැහැල්ලුවෙන් ජීවත් වන බව පෙනී යන බවත් ඇය තව දුරටත් පවසනවා.

අත්හැරීම අල්පේච්ඡත්වය වැනි ධර්මතාවලට ප‍්‍රමුඛත්වයක් දෙන සමාජයක් හැටියට ලාංකිය ප්‍රජාව ලොවෙහි ප්‍රකටව සිටියත් මේ වන විට ලංකාව පසු වනුයේ ලොව සතුටු දර්ශකයේ 117වන ස්ථානයේ බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ. පෙහොසත්කම මැනීමේ මිනුම් දණ්ඩ හැටියට වත් පොහොසත්කම සැලකීමට අපේ සමාජයත් හුරු පුරුදු වීම මෙයට හේතුව විය හැකැයි සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මහාචාර්ය ලොරී සන්තෝස් සිය සිසු සිසුවියන්ට අවසන් වශයෙන් දෙන උපදේශයද මෙහිදී අපටත් ඉතා ප්‍රයෝජනවත් විය හැකි බැවින් එය උපුටා දක්වමින් මෙම ලිපිය නිමා කිරිම මැනවියි කල්පනා කළා.

‘‘ඔබ මේ මොහොතේ ජීවත් වන්න පුරුදු වන්න. සවිඥානක වන්න. පෙහොසත්කම හා සන්තෘෂ්ටිය මැනීමේ උපකරණය මුදල් හෝ ධන සම්පත් නොව අප සතුව පවතින කාලය බව තේරුම් ගැනීමෙන් ඔබට ජීවිතයේ මෙතෙක් අත් නොවිඳි බෙහෝ දෑ අත්පත් කරගත හැකිවෙයි.“ 

කමල් පෙරේරා

නව අදහස දක්වන්න