මෙහේ වමට බොහෝ ප්‍රශ්න අඩයක් විතරයි | දිනමිණ

මෙහේ වමට බොහෝ ප්‍රශ්න අඩයක් විතරයි

කේ.කේ සමන් කුමාර

ප්‍රවීණ ලේඛකයකු, විචාරකයකු හා දේශකයකු වන කේ.කේ සමන් කුමාර විසින් රචිත නවතම මනෝ භ්‍රාන්තික නව කතාව, 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' ඒ නිමිති කරගෙන ඔහු හා කළ කතා බහකි මේ.

* ඔබේ නවතම කෘතියේ හෙවණැල්ල වැටී තියෙන්නේ , ශ්‍රී ලාංකේය වාමාංශික ව්‍යාපාරය මතයි. වමේ කතිකාව තුළ ඒක ස්ථානගත වෙන්නෙ කොහොමද?

පැරැණි වම ආශ්‍රිතව ගලාගෙන ආව රුසියානු නිල කලාවත්, අනෙක් පැත්තෙන් චීන සංස්කෘතික විප්ලවයේ ආභාසය සමඟ පැමිණි මාඕවාදී කලාවත්, ජවිපෙ විසින් ගොඩනැඟූ ජනතාවාදී කලාවත් සලකා බැලුවහම, මේ කොයි කලාවෙත් ශ්‍රී ලංකාවට ආවේණික ගුණය කියන්නේ බෝධිසත්වවාදයක්. ඒක තනිකරම ශුද්ධවාදයක්. ඒකට අනුව වාමාංශිකයා කියන්නේ සමාජය ගලවා ගන්නා ‍බෝධිසත්වයෙක්. මානුෂික දුර්වලතා මොකවත් නෑ. ඒකට හේතුවක් තියෙනවා. ආසියානු රටවල් කියන්නේ සමාජ ක්‍රමයක්, එහෙමත් නැත්නම් සිස්ටම් එකක් අනුව දුවන කලාපයක් නෙමෙයි. ඒවායේ පුද්ගල තත්ත්ව කේන්ද්‍රීයයි. විශේෂයෙන් දේශපාලනයේදී සමාජ ප්‍රවණතා ඉක්මවා, පුද්ගල ප්‍රතිරූප හා පුද්ගලයා හා බැඳුණු වැඩවසම්, ප්‍රාථමික මනෝභාව තීරණාත්මකයි. දෙවියා, රජා වගේ සංකල්ප ඔස්සෙ තමා ඒක හැඩගැහිලා තියෙන්නෙ. මෙය හරියටම රුසියාවෙන් ආව, ස්ටාර්ලින් විසින් ගොඩනැඟුව, කිසිදු අත්වැරැදීමක් නැති, මානුෂික දුර්වලතා නැති, ශුද්ධෝත්තම විප්ලවවාදියාට සෙට් වෙනවා. වෙනත් විදිහකට කීවොත්, ස්ටාර්ලින් විසින් හැදුවෙත් බෝධිසත්වයෙක්.

* ඒත්, මහායානයේ දැක්වෙන බෝධිසත්වයා එහෙම කෙනෙක් නෙවෙයි නේද?

නෑ. මහායානයේ බෝධිසත්වයා කියන්නේ, මානසික දුබලතා සහිත මිනිහෙක්. එක් අවස්ථාවක ඒ බෝධිසත්වයා ගැහැනියක් එක්ක සෙට් වෙන්න වහලක් දිගේ යනවා. වහලෙ පරාල දිගේ යද්දි ඒවා කඩාගෙන බිම වැටිලා , කොන්ද කඩා ගන්නවා. ඒත් අපට ඒ බෝධිසත්වයා එන්නෙ නෑ. ඒ වෙනුවට ථේරවාදී විශුද්ධි මාර්ගයෙන් හැදුව, පරම, පිවිතුරු දෙවියන් වගේ කෙනෙක් තමා අපට ලැබෙන්නෙ. මේ ථේරවාදයම තමා අපේ වමට එන්නෙ. එතැන තමා ඛේදවාචකය තියෙන්නෙ.

* ථේරවාදී බෞද්ධ සංකල්පයම වමේ චින්තනයත් සමඟ ගැටගැහීමත්, වමේ ව්‍යාපාරය කුඩා කුඩා අංශුවලට කැඩී යන්න හේතුවුණා වෙන්න බැරිද?

පුංචි පුංචි සක්ක කෑලි තැන තැන තියෙන්න පුළුවන්. ඒත්, ජවිපෙ කේන්ද්‍රීය වෙච්චි හා අදටත් ජවිපෙන් කැඩී ගිය වමේ පිරිස් තුළ වුණත් දකින්න ලැබෙන්නෙ, සුළු ධනේශ්වර චින්තනයම තමයි. 'මගේ', කියන එක නැතිව ඒ කාටවත් මොකුත් කරන්න බෑ. ' මමත්වය' ප්‍රධානයි. ලෙනින් කියන විදිහට, ' සුළු ‍ධනේශ්වර විප්ලවාදියා තුළ තියෙන මූලික දේ තමා, වැරැද්දක් කළත් 'මගේ වැරැද්ද", එහෙමත් නැත්නම් ' මගේ ජීව ගුණය' කියලා කියන එක. 'සියල්ල මගේ'. එතැන 'අපි' නෑ. ආසියානු චින්තනයත්, ජාඩියට මූඩිය වගේ මෙතැනට සෙට් වෙනවා. ජෝර්ජ් ලූකාස් විසින් 'විප්ලවීය අද්භූතවාදය' කියලා හඳුන්වන්නේ මෙය ම තමයි. රුසියාවේ ස්ටාර්ලින් විසින් හදන දෘශ්ටිවාදය තුළ 'වානේ පන්නරය, ගුරු ගීතය, අම්මා' වගේ කොයි පොතෙන් හැදුවෙත් පුද්ගල වන්දනාවම තමයි. ඒත්, ලතින් අමෙරිකානු විප්ලවීය සාහිත්‍ය කියන්නෙ මේ සාහිත්‍ය නෙමෙයි. ලතින් අමෙරිකාවේ මායා යථාර්ථවාදය එන්න කලින්, ඔමාර් කබේසස්, පුලන්නාසිස්, කැස්ට්‍රනේඩා වගේ අයගේ සාහිත්‍ය ගත්තහම තියෙන්නේ වෙනත් ජීව ගුණයක්. ඒවායෙ චරිත කියන්නෙ බෝධිසත්ව ගුණ තියෙන‍ මෙසායා කෙනෙක් නෙමෙයි. ඒත්, ශ්‍රී ලංකාවෙ, බණ්ඩාරනායක විසින් ගෙනාව 'දියසෙන් කුමාරයා' කතාවයි, මෙසායා සංකල්පයයි, රුසියාවෙන් ආව ශුද්ධ වූ විප්ලවවාදියයි එකට සෙට් වෙලා තමයි, මේ වින්නැහිය වෙලා තියෙන්නෙ. මෙය තනිකරම හූනියමක්.

* වමට විතරක් නෙමෙයි, ස්ත්‍රීවාදී කතිකාව තුළත් මේ ශුද්ධෝත්තමවාදය හොල්මන් කරනවා නේද?

පැහැදිලිවම . ස්ත්‍රීවාදි කතිකාව තුළත් ඒක එහෙමමයි. ශුද්ධවාදයත් එක්ක යථාර්ථවාදී කෝණයෙන්, සම්භාව්‍ය මාක්ස්වාදී විචාරයන් ලිව්වේ පියසීලි විජේගුණසිංහ, සුචරිත ගම්ලත්, ජිනදාස දනන්සූරිය වගේ උදවියයි. වේදිකාව තුළ ධම්ම ජාගොඩ. සිනමාව තුළ පතිරාජ වගේ අය. ට්‍රොස්කිවාදයෙන් ආභාසය ලැබූ සුගතපාල ද සිල්වා වගේ අයත් මෙතැනදී ප්‍රධානයි. මේ අය පොදුවේ ගත්තොත්, ජාතික ගැටලුව සම්බන්ධයෙන් 'ස්වයං නීර්ණ අයිතිය' කියන ආස්ථානයට ආවා. ගම්ලත් විසින් ඊළාම් ගීතය පවා ලිව්වා. ඒ කාලෙ ස්වයං නීර්ණයට පක්ෂ වීම හෝ නොවීම කියන කාරණය තුළ, වම දෙකඩ වුණා. එහිදී ජාතිකවාදී පැත්තට තල්ලු වෙච්චි නලින් ද සිල්වා විසින් චතුස්කෝටිකය වගේ සංකල්ප ඔස්සේ 'මගේ ලෝකය' වගේ පොත් ලීවා. අනෙක් පැත්තෙන් දයාන් ජයතිලකලා විසින් 'නාගරික විප්ලවය' කියන ප්‍රවාදය ගෙනාවා. 'දයාන් ඇතුළු 44 කණ්ඩායම' තුළ ජෝ සෙනෙවිරත්න, දයාපාල තිරණාගම ආදීන් විසින් ලතින් අමෙරිකානු විප්ලවීය ආදර්ශය මෙහි පැළ කිරීමට උත්සාහ කළා. ඔවුන් විසින් ආසියානු අද්භූත විප්ලවාදීයාට එරෙහි සාහිත්‍යයක් අපට හඳුන්වා දුන්නා. ඒත්, ඒ ප්‍රවණතාව මෙහි මුල්බැස ගත්තෙ නෑ. මේ අතර තමා 80 දශකයේ මුල භාගයේ ස්ත්‍රීවාදී කතිකාව ගොඩනැඟෙන්නෙ. සුනිලා අබේසේකර විසින් ''කාන්තා විමුක්තිය 1-2 ' කියලා පරිවර්තිත ලිපි එකතු දෙකක් පළ කළා. ඒක තමා අපටත් පසුකාලීනව අත්පොත් බවට පත් වෙන්නෙ. තෙවන රැල්ලෙ ස්ත්‍රීවාදි කතිකාව එන්නෙ එහෙමයි. ඊට කලින් තිබුණු ලිබරල්වාදී ස්ත්‍රීවාදය හෝ මාක්ස්වාදී ස්ත්‍රී වාදය නෙවෙයි. ස්ත්‍රීයට තමන්ගෙ ජීවිතය හා ශරීරය පිළිබඳ ස්වයං නීර්ණය පිළිබඳ අයිතිය එහිදී ප්‍රස්තූතය වුණා. එතැනදී වමේ කතිකාව තුළ ස්වයං නීර්ණයට එකඟ හා නොවන සියලුම මාක්ස්වාදීන් ස්ත්‍රීන්ගේ ස්වයං නීර්ණයට එරෙහි වුණා.

* ඒ පසුබිම වර්ධනය වුණේ කොහොමද?

දයාන්ලා වෙනුවෙන් සුනිලා මතුකළ මතයට විරුද්ධව, පුල්සරා ලියනගේ 'දිවයින' පත්තරේට ලීවා. සමස්ත සමාජ ආර්ථික වෙනසකින් තොරව ස්ත්‍රී විමුක්තිය කියන්නෙ මනෝ මූලික පුද්ගල කාරණයක් කියලා ඒ අය තර්ක කළා. ඒ අනුව ඒකත් වමේ කෝච්චියේ පිටිපස්සෙ ඇමිණුව පෙට්ටියක් විතරක් වුණා. ඒත්, රැඩිකල් ස්ත්‍රීවාදය විසින් ගබ්සාව, දරුවන් පිළිබඳ තීන්දු ගැනීම වගේ දේ බලාපෙරොත්තු වුණා. ඒත්, පුල්සරාලා බලාපොරොත්තු වුණේ වෙනත් දෙයක්. ක්ලාරාසෙට්සින්ගෙන් මතු කෙරුව ස්ත්‍රිවාදය තුළ, ජෙනී මාක්ස් කෙනෙක් හෝ කෘප්ස්කයා කෙනෙක් විතරයි එයාලා දැනගෙන හිටියේ. ඒත්, රැඩිකල් ස්ත්‍රීවාදය තුළ ස්ත්‍රීයගේ ජීව විද්‍යාත්මක කාරණා පවා අවධාරණය කළා. ඊ ළඟට තියුණුම විවේචනය ගෙනාවේ ඒ වෙද්දි වමත් එක්ක සම්බන්ධ, නිමල්කා ප්‍රනාන්දු. ඇය ඒ වෙද්දි නියෝජනය කළ නව සමසමාජ පක්ෂයයි. 'පුද්ගලිකත්වය දේශපාලනිකයි' කියන මතයට විරුද්ධව නිමල්කා එදා ලිව්වා. මනෝ විශ්ලේෂණය කතා කරලා, පශ්චාත් නූතනවාදය හෝ පශ්චාත් මාක්ස්වාදය දෙසන අයත් හිතන්නෙ, ස්ත්‍රී ප්‍රශ්නය කියන්නෙම අර පුරුෂෝත්තම විමුක්ති අරගලයේ අඩයක් කියලයි. උතුරේ ප්‍රශ්නයත්, එදා මෙදා තුරු වමට අඩයක් විතරයි. මෙහේ වාම ව්‍යාපාරයන් එකකින්වත් උතුරේ ප්‍රශ්නයට තඹ දොයිතුවකවත් වැඩක් වෙලා නෑ. මම, දීප්ති, රොහාන්, සුනිලා සමඟ එදා 'කාන්තාව හා මාධ්‍ය' ආශ්‍රිතව කතිකාවක් හදමින් හිටියා. ඒක යම්තාක් දුරකට ඇදී ගියා.

* අද වෙද්දී තත්ත්වය කෙබඳුද?

මේ වෙද්දි ස්ත්‍රීවාදී කතිකාව ජාත්‍යන්තර වශයෙන් පරාජය කරලා තියෙනවා. මාග්‍රට් තැචර් කීවේ,' සමාජය කියලා එකක් නෑ, පවුල් - පවුල් තමා තියෙන්නෙ' කියලයි. ශ්‍රී ලංකාවේදි ජේ.ආර් . වගේම, ජාත්‍යන්තරව රේගන් විසින් දියත් කළ නව ලිබරල් ආර්ථිකයට අභියෝග වන සමාජ ආර්ථික ක්‍රමයේ මූලික සාධකය තමා පවුල. මේකට රැඩිකල් ස්ත්‍රීවාදය සමඟ එන සමලිංගිකත්වය පෙන්නන්න බෑ. ඒක මර්දනය කළා. ඒ වගේම ජාතික විමුක්ති ව්‍යාපාර, පරිසර ව්‍යාපාර, විනාශ කළා. හිපි ව්‍යාපාරය කියන්නෙ දේශපාලන දැක්මක් තිබුණු බොහීමියානු ව්‍යාපාරයක් වුණත්, ඒක අද පවත්නා මත්ද්‍රව්‍ය සමඟ පමණක් රැඳුණු , '' විපරිත ව්‍යාපාරයක්" බවට පරිවර්තනය කළා. ඒවා සංවිධානාත්මකව සිද්ධ වුණු දේ. ඒ එක්කම 'ලිංගිකත්වය' කියන්නෙ පුද්ගලික ප්‍රශ්නයක් නොවන බවත්, ඒක 'සමාජ ලෛංගිකත්වය ' පිළිබඳ ප්‍රශ්නයක් බවත් ජාත්‍යන්තරව මතු කළා. 'එතැනින් තමා තුන්වැනි ස්ත්‍රීවාදී රැල්ල භංග වේවා!" කියන්නෙ. ජූලියා ක්‍රිස්ටිවා කියන්නේ 'ස්ත්‍රීවාදය කියන්නෙ ඉතිහාසයේ හිස්ටරික නිමේෂයක්' කියලයි. ඊට සමගාමීව එන්.ජී.ඕවලින් 'ස්ත්‍රී-පුරුෂ සමාජභාවි' කතිකාව ප්‍රමෝට් කරනවා. විශ්වවිද්‍යාලවල පවා විෂයක් හැටියට එනවා. මනෝ විශ්ලේෂණය කියන්නෙත් ස්ත්‍රී වාදයට එරෙහිව දාර්ශනික වශයෙන් එන පීඩක බලවේගයක්. ඒක තනිකරම පුරුෂ අඩි නඩයක්. ඒත්, හතර වැනි රැල්ලේ ස්ත්‍රීවාදය දැන් ආරම්භ වෙලා තියෙනවා. මං තිරය පිටුපස සිට ඒ වෙනුවෙන් යම් දායකත්වයක් දෙනවා.

* ඔබ එසේ කීවත්, ඔබේ නිර්මාණ සාහිත්‍ය තුළ, විශේෂයෙන්ම ඔබගේ නවතම කෘතිය වූ 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය තුළ පවා නිරූපණය වෙන්නේ පුරුෂෝත්තමභාවයක් නේද?

මේ ස්ත්‍රීවාදී කතිකාව එක තැනකදී මටම එ‍රෙහි වෙයි කියලා මං දන්නවා. මගේ රසයන්ට, මගේ ප්‍රමෝදයන්ට ඒක එරෙහියි. ලිබරල්වාදය කියන්නෙ අපට ආතල් එකේ ඉන්න පුළුවන් මොඩලයක්. මහින්ද රාජපක්ෂගේ රෙජිමය තුළ වුණත් කට වහගෙන හිටියනම් අපට ආතල් එකේ ඉන්න පුළුවන්කම තිබුණා. ප්‍රශ්න කරන්න ගියොත් තමා ලෙඩ වැටෙන්නෙ. එහෙමත් නැත්නම් අතුරුදන් වෙන්නෙ. ස්ත්‍රී ප්‍රශ්නයත් ඒ වගේම තමයි.

* ඔබ සවිඥානිකව ස්ත්‍රීයගේ පැත්තෙ හිට ගනිමින්, පුරුෂෝත්තමවාදයට විරුද්ධයි කියන එකද එයින් අදහස් කරන්නේ?

ඔව්. සවිඥානිකව ගතහොත්, මං පුරුෂෝත්තමවාදයට විරුද්ධයි. පැල්ලසය කියන සංකල්පයට පවා මං විරුද්ධයි. ඒක තුළ එන ශික්ෂණය පිළිබඳ අදහසට මං විරුද්ධයි. ඒත් ඒක තුළ, අවසාන වශයෙන් ගොඩනඟන පරමාදර්ශි ස්ත්‍රියක් නෑ. එහෙව් පරමාදර්ශි පිරිමියකුත් අපට නෑ. අවිඥාන­ිකව ඒකෙ ප්‍රතිවිරුද්ධාභාසය මා තුළත් තියෙනවා. ඒක මේ පොත උපු‍ටා දක්වමින්ම නදීලා , ලංකා වගේ අයත් මතු කරපු කාරණයක්.

මෙහිදී මාක්ස් විසින් පිරිමි ළමයෙක් දෙනවා. පුද්ගලිකව මං පිරිමි ළමයින්ට ආසා නෑ. ඇත්ත ජීවිතයේ පිරිමි ළමයෙක් හුරතල් කරන්නෙවත් නෑ. පිරිමි ළමයෙක් දිහා බලනවා නම්, ඒ ළමයා තුළත් දඩබ්බර නැති, පොඩි ස්ත්‍රී ස්වභාවයක් තියෙන්න ඕනැ. ඒත්, කලා නිර්මාණයකදී නිර්මාපකයාගෙන් වෙනස් වූ නියමයන් තියෙන්න පුළුවන්. ඒක කලාකරුවකු විසින් සවිඥානික දෘශ්ටිවාදය විසින් හැඩගස්වන්න ගියත්, ඔහුගේ අවිඥානය ඊට එරෙහිව, වෙන දෙයක් ගේන්න පුළුවන්. ඒ සවිඥානයටයි, අවිඥානයටයි දෙකටම බාහිරව කලා කෘතියකට කලාකරුවාගෙන් විනිර්මුක්ත වූ චලනයක් තියෙන්නට පුළුවන්. ඒක මටත්, මගේ පොතටත් අදාළයි.

* ඒ කියන්නේ 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය තුළ, මාක්ස්ගෙන් පිරිමි දරුවකු ජාතක කරවීමත්, කෘතිය පුරා ස්ත්‍රියගේ භූමිකාවට වැටී ඇති පුරුෂ අධිකාරියත් පිළිබඳ ඔබ සවිඥානකයි කියන එකද?

යම් ප්‍රමාණයකට සවිඥාන­ිකයි. යම් ප්‍රමාණයකට අවිඥානිකයි. යම් ප්‍රමාණයකට ඒක කලා කෘතිය විසින් ස්වයංක්‍රීයව ලබාගත් දෙයක්. සෙල්ලම් බඩුවක් වයින් කරලා තිබ්බහම, එය රිමෝට් කන්ට්‍රෝල් එකක් තිබ්බොත් කන්ට්‍රොල් කරන්න පුළුවන්. ඒත් එහෙම නැති නම්, ඒක ඒකටම ආවේණික තැනක තමා නතර වෙන්නෙ. කොහොමත්, රිමෝට් කන්ට්‍රොල් එකකින් කලා කෘති කරන්න බෑ. සැබෑ ලෝකෙදි මම එකඟ නැති තැන්වලට වුණත්, කෘතිය තුළ මට බාර ගන්න වෙන්න පුළුවන්. මම දරුවකු ජාතක කරලා, දරුවා ඉපැදුණාම, මට ඕන විදිහටම උගෙ අවයව පිහිටාවි යැයි කියන්න බෑ. ඔය ප්‍රශ්න කිරීම ජනතාවාදයේ සිට මනෝ විශ්ලේෂණය දක්වාම එකයි. මනෝ විශ්ලේෂණය කියන්නෙ, 'හූනියමක්' හැටියට නබකොව් විසින් හැඳින්වූයේ ඒකයි. 'ප්‍රොයිඩියානු හූනියම' කියලා තමා නබකොව් කීවේ. මාත් මනෝ විශ්ලේෂණයෙන් විචාර කරලා තියෙනවා. ඒත්, ඕක බොරුවක්. ජනතාවාදයයි, ඔය කියන මනෝ විශ්ලේෂණයයි අතර වෙනසක් නෑ.

'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කියන්නෙ යථාර්ථවාදී කෘතියක් නෙවෙයි. මනෝ භ්‍රාන්තියක්. මායා දර්ශනයක්. මාක්ස් ඇත්තටම ලංකාවට ඇවිත් ගිහින් නෑ. පළමු කොට ටයිම් මැෂින් ගැන කතාවක් මං මේකෙ ගේනවා. ඒක කළ හැකි දෙයක් බව විද්‍යාවෙ උගන්වනවා. ඒත්, කවුරුත් ටයිම් මැෂින් එකෙන් ගිහින් ආව කෙනෙක් නෑ. අපි කලා කෘතිය, කලා කෘතියක් හැටියටම ගමු.

* ඔබ එහෙම යෝජනා කරන්නේ, අදහස් ලෝකයක් තුළ 'පූර්ණ ස්ත්‍රීවාදියෙක්' ලෙස හඳුන්වා ගන්නද?

මං පූර්ණ ස්ත්‍රීවාදියෙක් නෙමෙයි. කිසිදු වාදයක මං නෑ. 'එකිනෙකට එරෙහි විෂම කතිකා ගොඩනැගිය යුතුයි' කියන ස්ථාවරයේ මං ඉන්නවා. කම්කරු පංතියවත්, මාක්ස්ගෙ සම්භාව්‍ය අර්ථයෙන්ම මං පිළිගන්නෙ නෑ. ස්ත්‍රීවාදීන් ගේම් ගහන එක ගැන බොහෝ දෙනා කියනවා. කම්කරුවෝ ශුද්ධ වන්තද? එහෙම නෑ. කම්කරුවො තරම් තමන්ගෙ වැඩේට අවංක නැති, පාවාදෙන කාලකණ්නි කොට්ඨාසයක් තවත් ඉන්නවද? එතකොට කම්කරුවන් වන්දනා කරන්නයි, ස්ත්‍රීන් ගේම් ගහනවා කියන්නයි බෑ. ඒත්, පළමු කොටම මං ස්ත්‍රී ශුද්ධෝත්තමවාදයට විරුද්ධයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ස්ත්‍රීවාදින්ට අනුව , සියලු ස්ත්‍රීන් පත්තිනි අම්මලා. ඒ අය ගේම් ගහන්නෙ නැති මාර හොඳ අය. ඒ අයගේ ජීවන වසඟය නෑ. හරි ම පාරිශුද්ධයි. ඒත් ඇත්තටම, එහෙම උන් නෑ. පිරිමිත් නෑ. ගැහැනුත් නෑ.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

නව අදහස දක්වන්න