වැවකට පුළුවන් ගමක් හදන්න! | දිනමිණ

වැවකට පුළුවන් ගමක් හදන්න!

අතීත ශ්‍රී ලංකාව හැඳින්වූයේ වැව් බැඳි රාජ්‍යය හැටියට ය. අතීත ශ්‍රී ලාංකේය ජාතිය හැඳින්වූයේ වැව් බැඳි පරම්පරාව හැටියට ය. වැවෙන් තොර ආර්ථිකයක් අපට නැත. වැවෙන් තොර ජන ජීවිතයක් ද අපට නැත. වැව අපේ මිනිසුන්ගේ ආර්ථිකය හා සමාජ ජීවිතය සකස් කළේ ය. එය කෙතෙක් දුරට අපේ සමාජය තුළ මුල් බැසගෙන තිබුණේ ද යත්; සෑම පුද්ගලයෙක් ම වැවට ගෞරව කළේය. වැවට නමස්කාර කළේ ය. වැව නැතොත් ජීවිතයක් නැත යන හැඟීමක් එදා තිබිණි. එහෙත් අද වනවිට එය මුළුමනින්ම වෙනස් වී ඇත. අද වැවට සලකන කෙනකු නැති තරම් ය. වැඩි දෙනකුගේ අදහස වැව ආසන්නයේ සංචාරක බංගලාවක් ඉදිකොට ඒ ඔස්සේ මුදල් හම්බකිරීම ය.

අතීත ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත විය. වෙනත් භවබෝගවලින් ද ස්වයංපෝෂිත විය. ආහාර හිඟයක් තිබුණේ නැත. ‘අපි වවලයි අපි කෑවේ’ යන උදාන වාක්‍යය සහිතව මිනිස්සු අභිමානවත් ජීවිතයක් ගත කළහ. රජවරුන්ගේ ප්‍රමුඛ කාර්යයක් වූයේ වාපි කර්මාන්තය දියුණු කිරීම හා දාගැබ් - වෙහෙර ඉදිකිරීම ය. ඉතිහාසයේ සඳහන් ශ්‍රේෂ්ඨ නරපතියෝ එය ඉතා හොඳින් ඉටු කළහ. විදේශාධිපත්‍යයත් සමඟ වැවට හිමි තැන අහෝසි විය. කුඹුරු ගොවිතැන වෙනුවට වාණිජ වැවිලි ප්‍රචලිත විය. තේ - පොල් - රබර් එහි ප්‍රධාන තැනට පත්විය. මේ වගාවන් සඳහා වැව් අවශ්‍ය නැත. ආර්ථිකය මාරු විය. ආහාර සඳහා නැවෙන් කටට එනතෙක් බලා සිටින්නට සිදුවිය. මේ වනාහී අපට වැරැදුණු ප්‍රධාන අවස්ථාවෙකි.

රටට, ගමට, නගරයට ජලය සපයන අපූරු වාරිමාර්ග පද්ධතියක් එදා අපට තිබිණි. මෙහි මූලාශ්‍රය වන්නේ වැව් සමූහය යි. එදා අනුරාධපුර දිස්ත්‍රික්කයට පමණක් වැව් දෙදහස් ගණනක් තිබිණි. කුඩා වැව්, මධ්‍යම ප්‍රමාණයේ වැව්, විශාල වැව් හා ජලය බෙදා හරින වැව් වශයෙන් ය. අවම ලෙස වියළි කලාපයේ සෑම ගමකටම පාහේ කුඩා වැවක් තිබිණි. ශුෂ්ක කලාපයේ ද වැව් ඉදිකර තිබිණි. වැවට ජලය සපයන ප්‍රධාන මාර්ග තුනක් තිබිණි. එක වැසි ජලය යි. දෙක ප්‍රධාන වැව්වලින් බෙදාහරින ජලය යි. තුන; ගංගා, උල්පත් හා ඇළ පාරවල්වලින් ලැබෙන ජලය යි. ලැබෙන ජලය තැන්පත් කර තබාගැනීමට ද එය ආරක්ෂා කිරීමට ද අවශ්‍ය ක්‍රමවේද එදා ඉතා හොඳින් පවත්වාගෙන ගොස් තිබිණි. අද ඒ කිසි දෙයක් දකින්නට නැත. වැව් තාවුල්ලේ ඇති ගස් පවා කපා විකුණන සමාජයක් අද බිහි වී ඇත.

ඊයේ දිනයේ දී “වැව් දහසක් හා ගම් දහසක්” යනුවෙන් වැඩසටහනක් ආරම්භ විය. එහි මූලිකත්වය ගෙන ක්‍රියාකරනුයේ කෘෂිකර්ම අමාත්‍යාංශය යි. මේ වැඩසටහනෙහි අරමුණ වැව් දහසක් පිළිසකර කොට ගම් දහසකට සමෘද්ධිය උදාකිරීම ය. එය අතිශය විද්‍යානුකූල වැඩසටහනක් බව බැලූ බැල්මටම පෙනී යයි. වියළි කලාපයේ වැවක් පිළිසකර කළවිට එම ගම්මානය ස්වයංපෝෂිත කළ හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. වියළි කලාපයේ ගම්වලට ඇති ප්‍රධාන ගැටලුව ජලහිඟය යි. ජල හිඟයට හේතුව පුරාණ වැව් පුරන්වීමයි.වව්නියා දිස්ත්‍රික්කයේ පමණක් විශාල වැව් ප්‍රමාණයක් කැලෑවෙන් වැසී ඇත. ඒ අනුව එහි හොඳ වගාවක් ද නැත. වව්නියාව දිස්ත්‍රික්කය යනු දීර්ඝ කාලයක් තිස්සේ රටට වැඩි ම වී අස්වැන්නක් ලබාදුන් කලාපයකි. අද ඒ කිසිවක් නැත.

වැව් දහසක් හා ගම් දහසක් යන වැඩසටහන ඉලක්ක ගණනාවක් සටහන් කර තිබේ. වැව පිළිසකර කිරීම ප්‍රධාන ඉලක්කය වන අතර වැව ආරක්ෂා කිරීමත් ඒ ඔස්සේ ජන ජීවිතය නැංවීමත් දෙවන ඉලක්කය බවට පත් වැ තිබේ. වැව් ඉවුරු, වැව් තාවුල්ල, වැවේ සොරොව්ව, වැවේ ආරක්ෂණ කලාපය යන සියලු වැදගත් ස්ථාන ආරක්ෂා කිරීමට මේ මගින් පියවර ගනු ලැබේ. වැවේ කටයුතු සඳහා දියුණු තාක්ෂණයක් පවතී. එය පවත්වාගැනීම මේ වැඩසටහනෙහි තවත් අරමුණක් වෙයි. වැවක් යනු ආර්ථික නිධානයකි. එය ආශ්‍රිතව තවත් බොහෝ නිෂ්පාදන කර්මාන්ත හා සේවා කර්මාන්ත ඇති කළ හැකි ය. ඒ කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. එලෙසම නව උත්පාදන සඳහා ණය මුදල් හා වෙනත් උපදේශන ලබාදීමට ද රජය ඉදිරිපත් වෙයි. කොස්ගස් දස ලක්ෂයක්, ගෙවතු වගා දසලක්ෂයක් වැනි වැඩසටහන් සමඟ ද මෙය සම්බන්ධ කරගත හැකි ය.

එදා අපේ වාපි සංස්කෘතිය කෙතෙක් දුරට දියුණු වී තිබුණේ ද යත්; මිසරයේ මොරිස් විලා අරාබියේ අල්වරම් වැව ආදියට වඩා අපේ වැව් ඉදිකිරීමේ තාක්ෂණය දියුණු මට්ටමක පැවැති බවට ඉංජිනේරු මත පළ වී තිබේ. වියළි කලාපයේ පමණක් නොව; අපේ තෙත් කලාපයේ පවා වැව් තිබිණි. නිදසුනක් ගතහොත් බස්නාහිර පළාතට අයත් ගම්පහ දිස්ත්‍රික්කය තුළද පුරාණ වැව් රාශියක් තිබේ. අවාසනාවකට මෙන් මේ වැව් බොහොමයක් එක්කෝ ගොඩ වී ඇත. නැතහොත් වල්වැදී ඇත. මේ වැව් නැවත සක්‍රීය කළහොත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවා කන්න තුනක් වී වගාව කළ හැකි ය. ඒ සඳහා සැලැස්මක් තිබිය යුතුය. එහෙත් සැලැසුමක් තබා සාකච්ඡාවක්වත් ඇති බවක් පෙනෙන්නට නැත. දේශපාලකයන් පමණක් නොව; නිලධාරීන් පවා මේ ගැන නිහඬ ය.

2011දී ද වැව් පිළිසකර කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අනුග්‍රහය ඇති ව ක්‍රියාත්මක වූ බව අපට මතක ය. එහි ඉලක්කය ලෙස සටහන් වූයේ රට පුරා වැව් දෙදහසක් සක්‍රීය තත්ත්වයට පත් කිරීම ය. රුපියල් කෝටි 2960 ක් ඒ සඳහා වෙන්කර ඇති බවට ප්‍රවෘත්ති එදා පළ විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වැව් දහසක් පිළිසකර වන බව ද එදා කියැවිණි. එහෙත් එය ඒ ලෙසින් ම ඉටු වූ බවක් පෙනෙන්නට නැත. පසුගිය නියං සමයේ ජල හිඟය නිසා වැඩි ම වගා පාලුවක් ලද දිස්ත්‍රික්කයක් ලෙස අනුරාධපුරය හැඳින්වේ. එක දිගට කන්න පහක් පමණ වගා නොකළ ප්‍රදේශද අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ය. එදා වැව් පිළිසකර කිරීම නිසි ප්‍රමිතියකට අනුව සිදු වූයේ නම්; ඉහත කී විනාශය සිදුවන්නේ නැත.

වැව් දහසක් - ගම් දහසක් වැඩසටහන සඳහා රුපියල් මිලියන 9000ක් පමණ වැය කරන බව වාර්තා වී ඇත. මුල්‍ය ප්‍රතිපාදන ඊට වඩා ‍ෙවන් කළ ද ප්‍රශ්නයක් නැත. මේ වැඩසටහන නිසි ක්‍රමවේදයකට ගෙන ගියහොත් ඒ මගින් පමණක් වුව අපේ ආර්ථිකය ගොඩදාගත හැකි ය.

 

නව අදහස දක්වන්න