කොළඹ වරායෙන් පුෂ්පා පිපේ | දිනමිණ

කොළඹ වරායෙන් පුෂ්පා පිපේ

* ලැබුණු මුදල කෝටි 114යි
* රටේ ණය බරට මුදල එකතු කරලා
* ගෙවන්න වෙන‍්නේ ජනතා බදු මුදලින්

මහින්ද රාජපක්ෂ මහතාට 2015 මැතිවරණ ආධාර වශයෙන් ඩොලර් මිලියන හතයි දශම හයක් (7.6) හෙවත් රුපියල් (76,00,000 x 150 = 1,14,00,00,000) එකසිය දාහතර කෝටියකට සමාන මුදලක් චීන සමාගමකින් දුන් බව කියන සිද්ධියක් පිළිබඳව නිව්යෝර්ක් ටයිම්ස් (NEWYORK TIMES) පුවත්පතේ පළ වූ පුවත, කඩි ගුලකට උණු අළු දැමූ කලෙක් මෙන් විය.

හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් චීන සමාගම කොමිස් වශයෙන් ඒ මුදල දුන් බව පුවතේ නොකියා කියන එක් කතාවකි. චීන සමාගමට කොන්ත්‍රාත්තුව පවරා දීමේ ‘සන්තෝෂම්’ එක මේ බව ද තවත් කටකතාවකි. ඒ මොන දේ වුවත් චීන සමාගම මහින්ද රාජපක්ෂ මහතාට ඩොලර් මිලියන හතයි දශම හයක් දී තිබූ බව නම් ඒ පුවතේ පැහැදිලිවම කියා තිබිණි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තිය විනාශ කිරීමට එවූ මඩ ගුලියක් යැයි මහින්ද රාජපක්ෂ මහතාට හිතැති කණ්ඩායම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රටට කියති. මේ මඩ ගුලියට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ අමාත්‍ය මංගල සමරවීර මහතාට හිතැති මාධ්‍යවේදීන් දෙදෙනකු බවට ද ඔවුහු චෝදනා එල්ල කරති.

“කාක්කා මොන පාට දැයි” ඇසූවිට පිළිතුරු වශයෙන් ‘කළුපාට’ යැයි නොකියා, සද්ධර්ම රත්නාවලියේ දක්වා ඇති “බුරුලු තබා අඟින් කිරි දොවන්නා” සේ යන සිද්ධාන්තයෙන් කාක්කා කා කා ගානවා. උගේ හොට උල්, ඌට උල් නිය පොතු තියනවා යැයි සිද්ධිය මුසාවක් බව කියන්නට අර අඳින පිරිස් එසේ අනම්මනම් දොඩනවා හැරෙන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඩොලර් මිලියන හතයි දශම හය නො ලැබුණු බවක් නම් නො කියන්නාහුමය.

ටයිම්ස් පුවත්පතට තොරතුරු සපයා ඇතැයි කියන මාධ්‍යවේදීන් දෙදෙනාට ද මේ අතරතුරේදී තර්ජන ගර්ජන එල්ල වෙන බවට ප්‍රවෘත්ති පළ විය. තම පුවත්පතේ පළ වූ පුවත සදොස් නම්, ඒ පිළිබඳව තමන්ගෙන් කරුණු විමසන ලෙසටත්, මාධ්‍යවේදීන්ට තර්ජනය නොකරන ලෙසටත් සඳහන් කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජාත්‍යන්තර සංස්කාරක මයිකල් ස්ලැක්මන් මහතා නිවේදනයක් ද නිකුත් කර ඇතැයි කියති.

මේ ලිපියේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොට වරාය ඉදිකළ සමාගමෙන් 2015දී යථෝක්ත මුදල් සම්භාරය ලැබුණා ද නැද්ද යන්න සත්‍ය යැයි හෝ අසත්‍ය යැයි හෝ කියන්නට උත්සාහ දැරීම නොවේ.

චීන සමාගම කොළඹ දකුණු වරායේ බහලුම් පර්යන්තය ඉදිකිරීමේදී ද මෙයට සමාන අන්දමින්ම කටයුතු කර තිබීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමය.

කොළඹ වරායේ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය ඉදිකළ චීන සමාගම වරාය සංවර්ධනය (DEVELOPMENT) කිරීමේ වියදමක් වශයෙන් දක්වා රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක් (1,94,10,000)ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පවුලේ ළඟම ඥාතිවරියකට අයත් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානයට 2012 මැයි 21 වැනි දින ගෙවා තිබේ. විගණකාධිපති ඩබ්ලිව්. ඇම්. ගාමිණී විජේසිංහ මහතා විසින් පවත්වනු ලැබ ඇති විශේෂ විගණන පරීක්ෂණයකින් එම තොරතුරු අනාවරණය කෙරී තිබේ.

එසේ අනාවරණය වූ විස්තර විගණකාධිපතිවරයාගේ අංක POS/A/SLPA//2016/04 දරන විගණන විමසුමෙන් දෙදහස් දාසයේ මාර්තු පළමු වැනිදා (2016.03.01) වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද පිටපතක් සහිතව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට ඉදිරිපත් කර තිබේ. එම විගණන විමසුමේ සඳහන් අන්දමට විස්තරය මෙසේ ය.

කොළඹ දකුණු වරායේ පර්යන්තය ඉදිකර බහලුම් මෙහෙයවීමේ කටයුතු ආරම්භ කර වසර තිස් පහකට (35) පසුව එම පර්යන්තය කොළඹ වරායට භාරදීමේ ක්‍රමයට (B.O.T-BUILD OPERATE TRANSFER) කොන්ත්‍රාත්තුව චීන සමාගමකට පවරා තිබේ. චීන සමාගම ඒ කාර්යභාරය ඉටුකිරීම උදෙසා ස්ථාපනය කළ සමාගම සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තය සමාගම (C.I.C.T- COLOMBO INTERNATIONAL CONTAINER TERMINAIS LIMITED) නමින් හඳුන්වනු ලැබ තිබේ. එම සමාගමේ කොටස් ප්‍රමාණය සියයට අසූපහක් (85%) වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොටස් ප්‍රමාණය සියයට පහළොවකි (15%). ගිවිසුම අනුව යථෝක්ත සමාගම පර්යන්තය ඉදිකර ග්‍රැන්ටි දොඹකර ආදිය සවිකර ‍දෙදහස් දහතුනේ ජූලි පළමු වැනි දින (2013.07.01) මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

මෙහෙයුම් කටයුතු එසේ ආරම්භ කිරීමට පෙර දිනෙක එනම් දෙදහස් දොළහේ මැයි විසිඑක්වැනි දින (2012.05.21) එම සමාගම, පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානයට රුපියල් එක්කෝටි අනූහතරලක්ෂ දසදහසක මුදලක් (1,94,10,000)ක් ගෙවා තිබේ.

චීන ආයෝජකයින් විසින් පිහිටුවා ගනු ලැබූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගම, හොංකොං ඇන්ඩ් ෂෙන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පතින් පුෂ්පා රාජපක්ෂ පදනම නමැති ස්වේච්ඡා සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාල‍යයේ අංක 204-1-001-5-003290 යන ගිණුමට බැර කිරීම සඳහා චෙක්පත නිකුත් කර තිබේ. එම තොරතුරු අනුව පරීක්ෂණ පැවැත්වූ විගණකාධීපතිවරයාට අනාවරණය වී ඇත්තේ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගමේ අරමුදලින් චෙක්පත ලියා නිකුත් කර ඇති බවයි.

සිද්ධියේ වැදගත් කරුණක් වන්නේ පුෂ්පා රාජපක්ෂ පදනමට එසේ ලබාදුන් මුදල දකුණු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා දැරූ වියදමක් වශයෙන් චීන සමාගම ගිණුම්ගත කර (ප්‍රාග්ධනිත කර) තිබීමය.

පුෂ්පා රාජපක්ෂ පදනමට එසේ දුන් මුදල් වරායේ ඉදිකිරීම් වියදමක් වශයෙන් ගිණුම්ගත කිරීමෙන් සිදුවන්නේ ඒ වියදම මේ රටේ මහජනතාවට ගෙවීමට සිදුවී ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කාන්ති පෙර්රා මහත්මිය කියයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව, කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්ත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අතුළු, අධ්‍යක්ෂවරුන්ගේ අවශ්‍යතාවට අනුව පමණක් පුෂ්පා රාජපක්ෂ පදනමට මුදල් දී ඇති බව විගණන පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. මුදල් ආධාර දිය යුතු ශ්‍රී ලංකාවේ අනන්ත අප්‍රමාණවත් ස්වේච්ඡා සංවිධාන තිබිය දී, චීන සමාගම පුෂ්පා රාජපක්ෂ පදනමම තෝරාගෙන ඇත්තේ කුමන කරුණක් නිසා දැයි දන්නේ දෙවියන් පමණක් බව ගිණුම් ආරංචි කියයි.

පදනමට මුදල් ගෙවිය යුතු බවට තීරණය කළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නි‍යෝජනය කරමින් මහාචාර්ය ප්‍රසන්න වෙල්ගමගේ නම් මහතකු සහභාගි වී ඇති බව ද, සමාගමේ විස්තර ලේඛනවල දැක්වේ. බහලුම් පර්යන්තය ඉදිකිරීම පිළිබඳව දෙපාර්ශ්වය අතර ගිවිසුමේ කොන්දේසි අතර වසර තිස් පහකට (35) පසුව පර්යන්තය වරාය අධිකාරියට පවරනවිට ඒ වනවිට පවත්නා ස්ථාවර වත්කම් හීනවන ශේෂ ක්‍රමයට අනුව වටිනාකම අදාළ සමාගමට ගෙවිය යුතු වේ. ඒ අනුව පුෂ්පා රාජපක්ෂ පදනමට ගෙවා ඇති රුපියල් 1,94,10,000 ටද කිසියම් ප්‍රතිශතයක් නො ගෙවා සිටීමට කිසිසේත්ම නොහැකි ය.

එපමණක් නොවේ, ශ්‍රී ලංකාවේ කිසියම් කර්මාන්තයක් හෝ ඉදිකිරීමක් හෝ උදෙසා ජාත්‍යන්තර ආයතන සමඟ ගිවිසුම්වලට එළඹෙන කල්හි ඒ සම්බන්ධව මැදිහත්ව ක්‍රියාකරන තුන්වැනි පාර්ශ්වයක් ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් කටයුතු නොකරන්නේ ය යන්න කොහෙත්ම අමතක නොකළ යුතු බව ද අපට සේවය කරන්නට යනවා යැයි කියන්නන් හොර රහසේ පොදි ගසාගන්නා මහජන දේපොළ වෙනුවෙන් ගෙවන්නට ඇති ණය කන්දරාව ගෙවන්නට පරම්පරාවෙන් පරම්පරාවට දහඩිය හෙළන මේ රටේ දුප්පත් මහජනතාව දැන්වත් තේරුම්ගත යුතුව ඇත. කොළඹ දකුණු වරායේ පර්යන්තය ඉදිකිරීමේදී රුපියල් දෙකෝටියකට (2,00,00,000) ආසන්න මුදලක් මෙසේ නීත්‍යානුකූලව නොවන අන්දමින් පුෂ්පා රාජපක්ෂ පදනමට ගියේ නම්, ලබ්බට තැබූ අත පුහුලට නො තියයි දැයි යන ගැමි මතය සිහිපත් කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතක කියන අන්දමේ සිද්ධියක් කොළඹ වරායේ කර්මාන්තය කළ සමාගමම හම්බන්තොට වරාය ඉදිකිරීමේදී නොකළා යැයි කියන්නට නොහැක්කේ මොන නාථාට දැයි මේ අනුව සිතා බලත්වා.

ජනසේන මාරසිංහ

නව අදහස දක්වන්න