ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 277යි | දිනමිණ

ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 277යි

ප්‍රින්ස් ගුණසේකර
කේෂාව් මහරාජ්

කලකට පසු පළමු කඩුල්ලට ශතකයක සබඳතාවක්

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්. එස්. සී පිටියේ ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස් කළේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සුරංග ලක්මාල් පිතිකරුවන්ට පාරාදීසයක් වූ එස්. එස්. සී තණතිල්ලේ මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය. එහෙත් දඟ පන්දු යවන්නන්ට මේ තණතිල්ල වඩාත් උචිත බව තහවුරු කරමින් දකුණු අප්‍රිකාවේ කේෂාව් මහරාජ් ශ්‍රී ලංකා පිතිකරුවන් 8ක් ලකුණු 116කට දවා ගැනීම කැපී පෙනුණි. එය මහරාජ්ගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වේ.

පළමු දින තරගය නතර කරද්දී අකිල ධනංජය නොදැවී ලකුණු 16ක් හා රංගන හේරත් නොදැවී ලකුණු 5ක් ලබා සිටියහ.

මේ තරගයේදී ආරම්භක පිතිකරුවන් දෙපළ, දිමුත් කරුණාරත්න හා ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට ලකුණු 116ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර එය කලකට පසුව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක ආරම්භක පිතිකරුවන් දෙදෙනකුගෙන් වාර්තාවූ ශතක සම්බන්ධතාවකි.

ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගයකදී ආරම්භක පිතිකරුවන් දෙදෙනකු මෙයට පෙර ශතකයක් වාර්තා කොට තිබුණේ 2013දී ගාල්ලේ පැවැති බංග්ලාදේශය සමග පළමු ටෙස්ට් තරගයේදීය. එහිදී පළමු කඩුල්ලට ලකුණු 114ක් දිමුත් කරුණාරත්න හා ටී. එම්. ඩිල්ෂාන් වාර්තා කළහ. වසර 2016දී සිම්මාබ්වේ පිලට එරෙහිව හරාරේහිදී දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා ලකුණු 123ක සම්බන්ධතාවක් පළමු කඩුල්ලට එක් කර තිබූ අතර එයින් පසුව ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ලට හොඳම සම්බන්ධතාව ඊයේ වාර්තා විය.

දිවා විවේකයෙන් පසුව යැවූ හයවැනි ඕවරයේදී දිමුත් කරුණාරත්න ලකුණු 57කට දවා ගැනීමට දඟ පන්දු යැවූ කේෂාව් මහරාජ් සමත් විය. වමතින් පන්දුවට පහරදෙන දිමුත්ගේ ඉදිරි පාදයට පැමිණි පන්දුව වම් ඉන්න දෙසින් දඟ කැවී යද්දී ‘ෆ්ලික්’ කිරීමකට ගිය අතර යාන්තම් පිත්තේ වැදුණු පන්දුව කඩුලු රකින කොක් රැක ගැනීමෙන් පළමු කඩුල්ල බිඳ වැටුණි. අනතුරුව වැඩි වේලාවක් යන්නට පෙර අනෙක් ආරම්භක පිතිකරුවූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 53කට දැවී ගියේ මහරාජ්ගේ පන්දුවකට වේගවත් පහරක් එල්ල කිරීමේදී ‘ඩීප් ස්කුවෙයාර් ලෙග්’ හී සිටි රබාඩා උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඕවර් 2ක් ඇතුළත දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. දිමුත් ඊයේ රැස්කළේ තම 16වැනි ටෙස්ට් අර්ධ ශතකය වූ අතර ධනුෂ්ක තම මංගල අර්ධ ශතකය වාර්තා කිරීම විශේෂත්වයකි. දිමුත් පන්දු 110කදී හතරේ පහර 4ක් හා ධනුෂ්ක පන්දු 107කදී හතරේ පහර 6ක් ඉනිමට එක් කළහ.

දිමුත්ගේ හා ධනුෂ්කගේ දැවීයෑමෙන් පසු ශ්‍රී ලංකාවට ලකුණු 52ක් එක් වෙද්දී කඩුලු දෙකක් බිඳ වැටුණි. ධනංජය ද සිල්වා ලකණු 47ක් ගෙන තිබියදී රබාඩා එවූ වේග පන්දුවක් පපු ප්‍රදේශයේ වැදී වේදනාවෙන් පසුවී තරගය මිනිත්තු 7ක පමණ කාලයක් ඇණ හිටියේය.

එහෙත් යථා තත්ත්වයට පැමිණි පසු ඊළග ඕවරයේදී හතරේ පහරකින් සිය ටෙස්ට් දිවියේ 3වැනි අර්ධ ශතකය වාර්තා කළේය. ඔහු අර්ධ ශතකය පන්දු 100කදී සම්පූර්ණ කළේ හතරේ පහර 7ක් සමගිනි. ධනංජය හා රොෂේන් සිල්වා එක්ව පස්වැනි කඩුල්ලට පන්දු 93කදී ලකුණු 54ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. රොෂේන් සිල්වා රබාඩාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී ලකුණු 22කට දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 21ක් ලබා සිටියදී මහරාජ්ගේ පන්දුවකට එල්ල කළ ස්වීප් පහර උඩ පන්දුවක් ලෙස මිඩ් විකට් කළාපයේ සිට වේගයෙන් පැමිණි රබාඩා රැකගත් අතර පළපුරුදු ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පළමු ස්ලිප්හී සිටි ඩුප්ලෙසී අතට උඩ පන්දුවක් දී ලකුණු 10කට දැවී ගියද තම ටෙස්ට් දිවියේ ලකුණු 5000 පසු කිරීමට සමත් වූයේය. අනතුරුව දික්වැල්ල ලකුණු 5කට හා දිල්රුවන් ලකුණු 17කට දැවී ගියහ.

පළමු ටෙස්ට් තරගයට එක්වූ ලක්ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනංජය කැඳවූ අතර දකුණු අප්‍රිකාවේ වේග පන්දු යැවූ වර්නන් ෆිලැන්ඩර් වෙනුවට ලුන්ගි න්ගිඩි මේ තරගයට කැඳවා ඇත.

අද තරගයේ දෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න